නායයෑම් එන වැස්ස පටන් අරන්

දැන් මේ සවසට වසින වැස්ස අන්තර් මෝසම් වැස්සයි. එය මේ කාලයට සාමාන්‍යයෙන් මෙරට වර්ෂා රටාව අනුව ලැබෙන වැස්සකි. අන්තර් මෝසම් වැසි වසරකට දෙවරක් ඇතිවේ. මෙවර වැස්ස දෙවන අන්තර් මෝසම් වැස්සයි. එය කාලගුණ විද්‍යාත්මකව ශාරදීය අන්තර් මෝසම ලෙස හඳුන්වයි. මේ කාලයේ සවස 2 සිට රාත්‍රී 9 - 10 වන තෙක් අකුණු සහිත වැසි ලැබේ. මේ වැස්ස නොවැම්බර් අග භාගය පමණ තෙක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අන්තර් මෝසම් සෘතුවේදී ශ්‍රී ලංකාව අවට මුහුදු ප්‍රදේශවල පවතින සංවහන ක්‍රියාවලි බහුලය. ඒ නිසා මේ වැසි සංවහන වැසි ලෙස හඳුන්වනු ලැබේ. මේ කාලයේ සුළං අඩුය. ඊට හේතුව මේ කාලයේදී දිවයින ඇතුළත පීඩන අනුක්‍රමණය ගණන් ගත නොහැකි තරම් කුඩා වීමයි මේ කාලයේදී වලාකුළු වර්ධනය සහ දිවයින ඇතුළත සහ අවට බලපැවැත්වෙන කාලගුණ රටාවට යම් දින චර්යාවක් ඇති බව පෙනේ.
මේ දිනවල හිරු උදාවේ සිට මධ්‍යහ්න වන තෙක් වලාකුළු ස්වල්පයක් සහිත හෝ වලාකුළුවලින් තොර නිල්වන් අහසක් දැකිය හැකිය. එම කාලය ඇතුළත පතිත වන සූර්ය රශ්මියෙන් භූ තලයේ උණුසුම වැඩි වී පහළ වායු ගෝලයේ සිරස් උෂ්ණත්ව ඉහළ නැඟීම ආරම්භ කෙරේ. එවිට පහළ වායු ස්තරය අස්ථායි තත්ත්වයට පත්වේ. රට අභ්‍යන්තරයේ සංවහන ධාරා ආරම්භ වීම මෙහි ප්‍රතිඵලයයි. මේ කාලයේදී පරිසරයේ ජල වාෂ්පයෙන් සන්තෘප්ත වේ නම් ඝන කැටි වලාකුළු සැදීම් ඉක්මන් වේ.

දිස්ත්‍රික් 10ක නායයෑම් ලක්ෂණ

සවස 4 - 8 අතර අකුණු අනතුරු බහුලයි

දහවල් 12 න් පසුව රටේ අභ්‍යන්තර උස් බිම්වල මේ කැටි වැහි වලාකුළු වර්ධනය වේ. පස්වරු 2 පමණ පසු වන විට එම කඳුකර ප්‍රදේශවල අකුණු හා ගිගුරුම් සහිත වැස්සක් ඇති වේ. පහළ වායු ගෝලයේ ඉතා අස්ථායි දිනවල මීට පෙර වුවද ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ තිබේ. මේ දිනවල දහවල් වායු ගෝලයේ ජල වාෂ්ප අධික නිසා අප ශරීරයෙන් පිටවන දහදිය නිතරම පූර්ණ ලෙස වාෂ්පිකරණය නොවේ. එවිට අපට දැඩි උණුසුමක් දැනේ. දහදිය ද බහුලව පිටවෙන බව පෙනේ.
මේ තත්ත්වය අප ශරිරයට දැඩි අපහසුතාවක් ඇති කරයි. ඉහත කඳුකර ප්‍රදේශවලින් ආරම්භ වන ගිගුරුම් සහිත වැස්ස පසුව සන්ධ්‍යා හෝ රාත්‍රී කාලය වන විට ක්‍රමයෙන් වෙරළබඩ ප්‍රදේශවලට ද පැතිරී යයි. සවසට මේ දිනවල නිතර වසින වැස්ස ඇතිවන්නේ මේ ආකාරයෙන් බව ඔබට පැහැදිලි වනු ඇත. පසුව පෘථිවි තලයට වැටෙන වැසිවලින් භූ තලයේ සිදුවන සිසිල් වීම නිසාත් හිරු බැස යාමත් සමඟ පෘථිවි පෘෂ්ඨයට ලැබෙන තාප ප්‍රමාණය හීන වෙයි. ඒ අනුව වායුගෝල ස්ථායිතාව ඇතිවේ. එවිට සන්ධ්‍යා කාලයේදී රාත්‍රී කාලයේදී ගිගුරුම් වැසිවල තීව්‍රතාව ක්‍රමයෙන් අඩුවෙයි.
මේ අනුව රාත්‍රි 10 - 11 පමණ වන විට අහසේ තාරකා, සඳ ආදිය ඉතා පැහැදිලිව බලාගත හැකිය. මේ කාලයේ අහසේ වලාකුළු ඉතා අඩුවෙන අතර පසුදින අලුයම ද සුළු වලාකුළු ප්‍රමාණයක් අහසේ තිබීමට ඉඩ ඇත. පසුගිය දිනවල උදේට ද වැස්ස ලැබිණි. ඒ දිවයින අවට ඇතිවූ කැලඹිලි ස්වභාවය නිසාය. දකුණු හා බස්නාහිර පළාත්වලට උදේට ද වැසි ඇතිවීමට මේ තත්ත්වය හේතු වේ.
මේ අන්තර් මෝසම් සමයේ අකුණු අනතුරු බහුලය. සවස 4 සිට රාත්‍රී 8 දක්වා මේ අනතුරු බහුලව සිදුවේ. රටේ තෙත් කලාපයේ අකුණු අනතුරු බහුලය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පර්යේෂණ අනුව රත්නපුරය, කිරිඇල්ල, තැලිහුන්න, නෙළුව, දැරණියගල, යටියන්තොට යන ප්‍රදේශ සහ ස්ථාන මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැකිය.
අකුණු පහරක් ළඟාවිය හැකි ප්‍රධාන ආකාර හතරකි. සෘජු ගැටුම ඉන් ප්‍රධානය. වලාකුළක සිට පහත් වන අකුණු ධාරාවක් සෘජුවම යම් පුද්ගලයෙක් ළඟට ළඟාවීම සෘජු ගැටුමයි. ස්පර්ශ වෝල්ටියතාව ඊළඟ අනතුරු වන ක්‍රමයයි. පෘථිවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ගසක් ගොඩනැගිල්ලක් හෝ කම්බියක් වැනි ද්‍රව්‍යයක් හා ස්පර්ශයක් පවතින විට ඒ හරහා අකුණු පහර ළඟා වීම මෙහිදී සිදුවේ. අංශ ජිවලනය මඟින් ද අකුණු අනතුරු සිදුවේ. ඒ පෘථිවිය වෙත අකුණු ධාරාවක් ගමන් කරන ද්‍රව්‍යයන් ආසන්නයේ සිටි විට ආංශික ලෙස අකුණු පහර ළඟා වීම මඟිනි. පියවර වෝල්ටියතාව අකුණු අනතුරු සිදුවන අනික් අවස්ථාවයි. පෘථිවිය වෙත අකුණු ධාරාවක් ළඟා වූ ස්ථානයක සිට විහිදී යන ධාරාවක් ලෙස අකුණු පහර ළඟාවීම නිසා මේ අනතුරු සිදුවේ. අකුණු අනතුරු සිදුවීමේ හැකියාව අඩු කිරීම සමහර විට අකුණු ළඟා වන ආකාරය මත ද රඳා පවතී. සෘජු අකුණු අනතුරුවලින් වැළකීමට ගත හැකි ප්‍රධාන පියවර 3 කි.
අනතුරු ළඟාවිය නොහැකි ස්ථානයක ආරක්ෂාව පැතීම එකකි.
උස ගොඩනැගිල්ලක් මඟින් ගොඩනැඟෙන ආරක්ෂිත කලාපයක ආරක්ෂාව ලබා සිටීම දෙවැන්නයි. මීටර් 30 ක තරම් අර්ධ විෂ්කම්භය සහිත කොටසක ඉතාම මිටි වන පරිදි තම සඵල උස අඩු කර ගැනීම තුන් වැන්නයි.
කෙසේ වෙතත් තම උස අඩු කර ගැනීමේ උත්සාහයකදී අකුණු අනතුරුවලින් සම්පූර්ණයෙන් වැළකී සිටීම අසීරු වන අවස්ථා ද තිබිය හැක. පාර්ශ්වික අකුණු පහරින් වැළකීමට නම් එවන් අනතුරු ළඟාවිය හැකැයි සිතන ද්‍රව්‍ය හෝ භාණ්ඩවලින් යටත් පිරිසෙයින් මීටර් දෙකක්වත් දුරින් සිටිය යුතුය.
පෘථිවිය හා ස්පර්ශය අඩු කර ගැනීමෙන් ස්පර්ශ වෝල්ටීයතාවෙන් සිදුවන අනතුරු අඩු කළ හැකි වේ.
ජලාශවල පිහිනීම හෝ ජලය ඇති ස්ථාන මත ඇවිදීමෙන් වළකින්න.
විවෘත ස්ථානයකදී අකුණුවලින් බේරීමට ක්‍රියාමාර්ග
පහත් ස්ථානයක් ආසන්නයේ ඇත්නම් වහාම එතැනට ළඟාවී උස අඩු වන සේ පහත් වන්න. තත්පරයකට අකුණු පහර 3 ත් 10 ත් අතර සංඛ්‍යාවක් ඇති වන අවස්ථාවල වහාම මෙම පියවර ගත යුතුය. අකුණු අඩු වන බව හැඟේනම් සහ එකිනෙක අකුණු අතර කාලය තත්පර 20 ක් පමණ වනවානම්, අකුණු අතර එම විරාමයේ වඩා ආරක්ෂිත ස්ථානයක් වෙත යන්න. මෙම කාලය තව තවත් දිගු වන විට ආරක්ෂාව සඳහා කටයුතු යෙදීමට ඔබට වැඩි කාලයක් ඇත.
මාවතක ගමනේ යෙදී සිටියදී අකුණු කුණාටුවක් ආසන්නයේ ඇත්නම්?
ආසන්නයේ ගොඩනැගිල්ලක් ඇත්නම් එය වෙත වහා යන්න. උස ආකෘතියක හෝ විදුලිබල හෝ පණිවිඩ සම්පේ‍්‍රශක මාර්ගවල ආරක්ෂිත කලාපයක් වෙත යන්න. මෙවන් කිසිවක හෝ පිළිසරණක් නැත්නම්, තමාගේ උඩ අඩු වන සේ පහත් වන්න.
කැටි වැහි වලාකුළක ආයුෂ විනාඩි 20 - 30 ක් පමණ කෙටි වේ. මේ නිසා විශේෂයෙන් සංවහන වැසි වැටෙන විට ඉතා අනතුරුදායක අකුණු ඇති වන්නේ කෙටි කාල සීමාවක් තුළය. එම කාලය තුළ ආරක්ෂක පියවර ගැනීමට උත්සුක වීනම් අකුණු හානිවලින් බේරීමට හැකි වේ.අකුණු වැස්සක ප්‍රථම අකුණු පහර හෝ මඳ විරාමයකින් පසු ළඟ වන පහර මඟින් අනතුරු වැඩි වශයෙන් සිදුවන බව මෙහිදී අවධාරණය කළ යුතු ය.
විද්‍යුත් පරිපථ ඔස්සේ ප්‍රචාරණය වන අධි වෝල්ටීයතා හේතුවෙන් සිදුවන අනතුරු වලින් හැකි තරමින් වැළකීමට විදුලි බල සහ සංඥා පරිපථ සහ ඊට සම්බන්ධ වූ උපකරණ හා සම්බන්ධයක් පවත්වා නොගෙන සිටීමට ද එවන් දෑවලින් යටත් පිරිසෙයින් මීටර් 2 ක් වත් දුරස්ථව සිටීමට ද වග බලා ගත යුතුය.
කාලීන ආරක්ෂක පූර්වෝපායයන්
ගොඩනැගිලිවල විද්‍යුත් පරිපථ හා සම්බන්ධ භූගත කම්බි(ඡ්ඒඅඊඩ් එධ්අඡ්ඉ) ප්‍රතිරෝධය ඕම් 10 කට අඩු වන ලෙසට සවිකළ භූගත කූරු හෙවත් පෘථිවි දඬු (ඡ්චපබඩ අධඤ) හා සම්බන්ධ කරන්න.
සමාන්තර ගත පෘථිවි දඬු කිහිපයක් සවිකර එම දඬු කිහිපය අතර තඹ නැතිනම් වෙනත් හොඳ සන්නායක කම්බිවලින් ඉතා හොඳින් සන්නායක සම්බන්ධයක් පවත්වාගෙන ප්‍රතිරෝධය අඩුකර ගත හැක.
එසේම ගොඩනැගිල්ල වටා පෘථිවි දඬු කිහිපයක් සවිකොට ගොඩනැගිල්ලේ පරිපථයේ විවිධ ස්ථානවලදී පෘථිවි කම්බිය දණ්ඩට මනාව සම්බන්ධ කිරීමෙන් ද ප්‍රතිරෝධය අඩුකර ගත හැක. කොන්ක්‍රීට් ස්තර සහිත ගොඩනැගිලිවල එම කොටස් හා පොළව සම්බන්ධ වන ලෙස සිරස්, සන්නායක කම්බි සහිත, අමතර කොන්ක්‍රීට් කණුවක් ඉදිකිරීම සැලසුම් කිරීම යෝග්‍යය වේ.
නිවසක් හෝ වෙන යම් ගොඩනැගිල්ලක් අසල උසට වැඩුණු ගහ කොළ නොමැති විටදී, එම ගොඩනැගිලි සෘජු අකුණු පහරවලට භාජන වීමට ඉඩ ඇත. මෙම අවදානම බොහෝ දුරට අඩුකර ගත හැක්කේ අකුණු සන්නායකයක් සවිකර ගැනීමෙන්ය.
නිවස සහ අවට ගස් අතර යකඩ හෝ වෙනත් ලෝහමය ද්‍රව්‍යය මඟින් සම්බන්ධ කිරීම් නොතබන්න. කම්බි යොදා සකස් කළ රෙදි වැල් ද අබලන් ගස් බැඳ තැබීමට යොදන කම්බි ද අනතුරුදායක බවට උදාහරණ වේ.
අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ගැන අනාවැකි ප්‍රකාශ වූ විටක ගත යුතු ආරක්ෂක පූර්වෝපායයන්
අකුණු සහිත කාලගුණ තත්ත්වයකට පෙර පරිසරයට නිරාවරණය වීම අවම කිරීම සඳහා ආරක්ෂක ස්ථානයක් වෙත යන්න.
අකුණු පහරක අධික ධාරාව අර්ථ ලෙස හෝ සම්පූර්ණ ලෙස තැනින් තැනට රැගෙන යාමට පරිසරයේ ඇති සන්නායක කම්බි ආධාර වේ. විදුලිබල සැපයුම් කම්බි, රූපවාහිනී ඇන්ටෙනා කම්බි සහ දුරකථන කම්බි හරහා අකුණු ධාරා සන්නයනය කිරීම නිසා දේපළ සහ ජීවිත හානි වන අවස්ථා බොහෝය. මේ නිසා අකුණු සහිත කාලගුණ තත්ත්වයක් ගැන අනාවැකි ප්‍රකාශ වූ විටෙක, විදුලි උපකරණ විද්‍යුත් පරිපථවලින් විසන්ධි කර තබන්න.
රූපවාහිනී ඇන්ටෙනා එම යන්ත්‍රවලින් විසන්ධි කොට ඇන්ටෙනා පේනුව නිවසින් බාහිරව පෘථිවියට ආසන්න වන පරිදි තබන්න. වඩාත් යෝග්‍ය වන්නේ එය භූගත කොට ඇති සන්නායක දණ්ඩකට සම්බන්ධ කිරීමය.
අකුණු සහිත කාලගුණ තත්ත්වයක් පවතින අවස්ථාවලදී ගත යුතු ආරක්ෂක පූර්වෝපායයන්.
විදුලි ස්ත්‍රික්ක, ශීතකරණ, ලෝහ ජනෙල් රාමු, ගුවන් විදුලි යන්ත්‍ර වැනි උපකරණ ස්පර්ශයෙන් හා පරිහරණයෙන් වැළකී සිටින්න. උස් ලෝහ ආකෘති, කම්බි වැටවල් හෝ කම්බි රෙදි වැල් අසල සිටීමෙන් හා ඒවා ස්පර්ශ කිරීමෙන් වළකින්න. දුරකථන භාවිතය අඩු කරන්න. නොවැලැක්විය හැකි අවස්ථාවලදී දුරකථන සාකච්ඡා හැකි තරම් ලුහුඬු කරන්න. කොන්ක්‍රීට් ලෑලි මත සකස් කළ ළිප සහ කොන්ක්‍රීට් ලෑලි සෙවිලි කළ දුම් කවුළු සහිත මුළුතැන්ගෙවල විශේෂයෙන්ම එම කොන්ක්‍රීට් ලෑලිවලට ආසන්නව නොසිටින්න.
ක්‍රීඩා පිටියක්, තේ වත්තක් හෝ කුඹුරක් වැනි විවෘත ස්ථානවල ගැවසීම සීමා කරන්න. විශේෂයෙන්ම උදලු, අලවංගු වැනි උපකරණ භාවිත කරමින් එළිමහනේ කටයුතු කිරීමෙන් වළකින්න. එළිමහනේ කටයුතු කිරීම නොවැළැක්විය හැකි නම්, අකුණු ආසන්නයේ ඇතිවන බව හැඟෙන විට, දෙපා ආසන්නව තබා පහත් වෙන්න. වියළි පාවහන් පැලඳීම හෝ පරිවාරක ද්‍රව්‍යයක් මත සිටීම ආරක්ෂාව වඩාත් තහවුරු කරයි.
හුදෙකලා වෘක්ෂ අසල හෝ උස් භූමි වල නොරැඳෙන්න. නොවැළැක්විය හැකි හේතුවක් නිසා ගසක් අසළ සිටීමට සිදුවේ නම් අතු විහිදී ඇති සීමාවෙන් පිටත සිටීමට උත්සාහ කරන්න.
ස්ථානය කුමක් වුවත් ශරීරයේ ක්‍රියාකාරී උස (සඵල උස) ප්‍රමාණය අඩු කරලීම සඳහා වාඩිවී හෝ දිගාවී සිටින්න.
විවෘත බෝට්ටුවක සිටීනම් ද, අකුණු කුනාටුවක් ළඟා වේයැයි හැඟේනම් ද උස අඩු වන සේ පහත් වන්න. හැකි ඉක්මනට වෙරළ වෙත ගොස් ආසන්නයේ ගොඩනැඟිල්ලක් ඇත්නම් එය වෙත වහා යන්න. යාත්‍රාවේ උස කණු සහ ස්ථම්භවලින් ඈත් වන්න. වෙරළ වෙත යාමට කල් නොමැති අවස්ථාවල හැකි සෑම ආරක්ෂක පියවරක්ම ගන්න. පාලමක් ආසන්නයේ හෝ ඊට යට නැංගුරම් යෙදීම වඩා ආරක්ෂා දායකය. තරමක් උස්වූ ජැටියක් හෝ පාලමක් යට, ඒ හා සෘජු ස්පර්ශයක් නොමැතිව නැංගුරම් ලෑම ආරක්ෂාව වැඩි කරයි.
අශ්වයන් පිට යාම, පාපැදි, යතුරුපැදි, ට්‍රැක්ටර් වැනි විවෘත වාහන පැදවීම නොකරන්න. පාපැදි, යතුරුපැදි පදවන සහ අශ්වයින් පිට යන අවස්ථාවල අකුණු තත්ත්වයක් බලපාන බවක් හැඟේනම් වාහනයෙන් බැස ආරක්ෂක ස්ථානයක් වෙත යන්න.
නායයෑම්
මීට අමතරව මේ දරුණු වැස්සත් සමඟ මෙරට දිස්ත්‍රික්ක 10 ක පමණ නායයෑම් ඇතිවීමේ ඉඩකඩක් ද පවතී. ඒ අනුව නුවරඑළිය, මහනුවර, කෑගල්ල, රත්නපුරය, බදුල්ල, මාතලේ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට යන දිස්ත්‍රික්කවල නායයෑම් සහ කණ්ඩි කඩා වැටීම් බහුලව සිදුවීමට ඉඩ තිබේ.
මේවායින් ආරක්ෂා වීමට නම් නායයෑම් ආපදා පිළිබඳව පූර්ව සලකුණු මඟින් දැනුම්වත් වීම වැදගත්ය. ඒ පූර්ව සලකුණු අතර පොළවේ ඉරි තැලීම් ගැඹුරට හෑරුණු පැලුම් ආදිය ඇතිවීම ප්‍රධානයි.
හිටි අඩියේ සිදුවන පොළොවේ ගිලා බැසීම් ක්‍රමයෙන් ගස් ඇළවී යාම, විදුලි කම්බි කණු හා දුරකථන කණු ඇලවී යාම, ගල් පෙරළීම, ගල් තල්ලු වීම, පොළොව ක්‍රමයෙන් තල්ලු වීම, බෑවුම්වල ඇති ගොඩනැගිලිවල පොළොවේ හා බිත්තිවල පහළ මට්ටමේ හිටි අඩියේ පැලුම් ඇතිවීම බෑවුම් පහළ කලාපයේ හිටි අඩියේ ජල උල්පත් මඩ සහිත ජල උල්පත් මතු වීම, බෑවුම් ඉහළ කලාපයේ තිබු ජල උල්පත් සහ ජල පහර ක්‍රමයෙන් නැති වී යාම හා කුඩා හෝ විශාල වශයෙන් පස් තට්ටු තල්ලු වී යාම මේ නායයෑම්වල පූර්ව ලක්ෂණ අතර ප්‍රධාන තැනක් ගනී.
මේ අතර නුවරඑළිය බදුල්ල මහනුවර දිස්ත්‍රික්කවල මේ දිනවල පවතින වැස්ස නිසා අධික භයානක තත්ත්ව පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම ප්‍රදේශවල මාර්ගවල වාහන ධාවනයේදී සැලකිලිමත් විය යුතුය. ගල් පෙරළීම සිදුවිය හැකිය. දැඩි මීදුම නිසා ද අනතුරු සිදුවීමට ඉඩ තිබේ. ඒ සඳහා මීදුම කපාගෙන යන ලාම්පු පාවිච්චි කිරීම වඩා සුදුසුය.
(කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ කාලගුණ විද්‍යාඥ කේ. ආර්. අභයසිංහ,ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ ප්‍රධානී ආර්. එම්. එස්. බණ්ඩාර යන මහත්වරුන්ගේ අදහස් ඇසුරෙනි.)ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

Categories:

One Response so far.

  1. Anonymous says:

    මේකනම් ඇත්ත

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්