නායයාම් අධ්‍යයන සහ සේවා


නායයාම් අධ්‍යයන සහ සේවා

නායයාම් කලාපකරණය සිතියම්ගත කිරීම.

ශ්‍රී ලංකාවේ, කළුතරල ගාල්ල, හම්බන්තොට, නුවරඑළිය, මාතලේ, නුවර, කෑගල්ල, රත්නපුර, මාතර සහ බදුල්ල යන නායයාම්වලට බහුල ව භාජනය වන දිස්ත්‍රික්ක 10 තුල, නායයාම් ප්‍රවනතාවයේ තීව්‍රතාවය ට අනුව භූමිය කලාපකරණය කරල සිතියම්ගත කිරීමේ වැඩසටහනක් නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් ක්‍රියාත්මක කර ඇත. එම සිතියම්කරණය 1:50000 සහ 1:10000 පරිමාණයන් අනුව සිදු කෙරේ. සිතියමේ දැක්වෙන එක් එක් නායයාම් ආපදා කලාපවලට යෝග්‍ය ඉඩම් පරිහරණ සහ ඉදිකිරීම් කටයුතු සඳහා ගුරූපදේශ ද මෙම සිතියම් සමග ලබා දී ඇත.
දැනට, මාතලේ, නුවර, නුවරඑළිය, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා 1:50000 පරිමාණයේ නායයාම් ආපදා කලාප සිතියම් ලබා ගැනීමට සැලසුම්කරුවන්, සංවර්ධකයන්, තීරණ ගන්නන් සහ සාමාන්‍ය ජනතාවට හැකියාව තිබේ.
නායයාම්වලට බහුල ව භාජනය වන දිස්ත්‍රික්ක 10 තුළ, පහත දැක්වෙන සිතියමෙහි පෙන්වා ඇති ප්‍රදේශ සඳහා පමණක් 1:10000 පරිමාණයේ නායයාම් ආපදා කලාප සිතියම් ද, 1:10000 පරිමාණයේ සිතියම ලබා ගත හැක.


නායයාම් ආපදා කලාප සිතියමේ එක් එක් නායයාම් ආපදා කලාප සංවර්ධනය කිරීමේ දී අනුගමනය කළ යුතු සාමාන්‍ය ක්‍රියා මාර්ග පහත දැක්වේ.
සිතියම (වර්ණය)නායයාමට ඉඩ ඇති කලාපයසංවර්ධනය සඳහා ගුරූපදේශ
නායයාමට වඩාත්ම ඉඩ ඇති ප්‍රදේශනායයාම් නිසා ජීවිත සහ දේපලවලට තර්ජනයක් පවතී. එබැවින් නව ඉදිකිරීම්වලට අවසර නොදිය යුතු ය. සහතික ලත් විශේෂඥයින් විසින් භූමිය පරීක්ෂා කිරීමෙන් පසු නියමකරන ප්‍රමාණවත් ආරක්ෂක විධිවිධාන සහිතව  පමණක් දැනට පවතිව ව්‍යුහයන්ට අත්‍යාවශ්‍ය එකතු කිරීම්වලට ඉඩ දිය හැක.  නායයාමේ ලක්ෂණ පැහැදිලි නම් සහ අවදානම් මට්ටම ඉහළ නම් කල් ඇතිව අනතුරු හඟවන පද්ධති ස්ථාපනය කළ යුතු ය.
නායයාම් බලාපොරොත්තු විය හැක.
නායයාමේ උපද්‍රව ඇතිවීමට  මධ්‍යස්ථ මට්ටමේ ඉඩක් පවතී. නව ඉදිකිරීම්වලට අනුබල නොදිය යුතු ය. බෑවුම් හායන ක්‍රියාවලිය නැවත්වීම සහ බෑවුම් ස්ථාවරතාවය ඉහල නැංවීම සඳහා වැඩි දියුණු ඉඩම් පරිහරණ සැලසුම් ක්‍රියාදාම හඳුන්වා දිය යුතු ය. සියළු නව ඉදිකිරීම් ද, පිළිසකර කිරීම් ද, නව ව්‍යාපෘති ද, ක්‍රියාත්මක කිරීමට   පෙර නායයාමේ ප්‍රවනතාවයට ඇති බලපෑම පිළිබදව ඇගයීමක් කළ යුතු ය.
නායයාමේ උවදුර මඳ වශයෙන් පවතීනායයාමේ උවදුර ඉතාම සුළු වශයෙන් පවතී. ඉංජිනේරුමය උපදෙස් මත  නියාමනය කරනු ලැබූ නව ඉදිකිරීම් ද, හොඳින් සැලසුම් කළ වගාවන් ද සිදු කිරීමට අවසර දිය හැක. ඉදිකිරීම සඳහා සම්පාදිත සියළු සැලසුම් තාක්ෂණය ට අනුකූලව පිරික්සා සහතික කළ යුතු ය.
නායයාමක්  සිදු වීමට ඇති හැකියාව ඉතාමත් ම අඩුයදැනට පවත්නා දැනුම අනුව බෑවුම් අස්ථාවරභාවය හෝ ඒ ආශ්‍රිත අනතුරක ලක්ෂණ දක්නට නැත. විශේෂයෙන් හොඳින් කළමනාකරණය කළ ඉඩම් සහ ඉංජිනේරු උපදෙස් මත සිදු කරන ඉදිකිරීම සඳහා පොදු සීමාවන් පැනවිය යුතු නැත. විශේෂයෙන් ජල ගැලීම් සහ පාංශු ඛාදනයට පාත්‍ර වන ප්‍රදේශවල ස්ථානගත සීමාවන් පැනවීම අවශ්‍ය විය හැක.

නාය යාමේ උවදුර හඳුනා ගැනීම සහ නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීම.

විවිධ සංවිධාන, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරු, සංවර්ධන කාර්යයෙහි නියුතු වූවන් සහ පෞද්ගලික හිමිකරුවන්ගේ ඉල්ලීම පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන සහ සේවා අංශය මෙරට විවිධ ප්‍රදේශවල නායයාමේ විභව්‍යතා හඳුනා ගැනීම සහ ඉඩම් නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීමේ ගවේෂණ සිදු කොට, නායයාමේ අවදානම අවම කිරීමට නිර්දේශ ඉදිරිපත් කරයි.
සියළුම ආකාරයේ ඉදිකිරීම්, ප්‍රමුඛ සංවර්ධන ව්‍යාපෘති, ගල් කැඩීමේ ව්‍යාපෘති ද, පස් කපා ඉවත් කිරීම් ද, අනුමත කරන රාජ්‍ය ආයතන ඉහත සඳහන් අන්දමේ නායයාම් විභව්‍යතා හඳුනාගැනීම් සහ නායයාමේ අවදානම විශ්ලේෂණය කිරීම සඳහා නායයෑම් අධ්‍යයන සහ සේවා අංශයේ සේවාවන් සහ උපදේශනය ලබා ගනිති.
මැයි 2003, ජනවාරි 2007 සහ ජනවාරි 2011 වැනි කාල වලදී නායයාම් නිසා සිදු වූ මහා පරිමාණ ව්‍යසනවලදී ද, උවදුරට පාත්‍ර වූ ප්‍රදේශවල ජීවිත සහ දේපළවලට එමගින් එල්ල වූ අවදානම තක්සේරු කිරීම සහ මහජනයාගේ ආරක්ෂාව තහවුරැ කිරීමට රජයෙන් ලද ඉල්ලීමට නායයාම් අධ්‍යයන සහ සේවා අංශය වහා ප්‍රතිචාර දැක්වී ය.
නායයාම් පිළිබඳ ගවේෂණ සඳහා ඉල්ලුම් කිරීම
නායයාම් අධ්‍යයන සහ සේවා අංශයෙන් සේවාවක් ඉල්ලා සිටීම සඳහා ඉල්ලුම් පත්‍රය. ඉංග්‍රීසි | සිංහල | දෙමළ

කඳු සහිත ප්‍රදේශවල ඉදිකිරීම් සහ ඉඩම් පරිහරණ සැලසුම් සඳහා මාර්ගෝපදේශ

නායයාම්වලට පාත්‍රවිය හැකි ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා උපයෝගී වන සාමාන්‍ය මාර්ගෝපදේශ ගොනුවක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් සකසා ඇත. මෙම ගුරූපදේශ අනුගමනය කිරීමෙන් ඉදිකිරීම් සහ වෙනත් සංවර්ධන කටයුතුවල බලපෑම හේතු කොට ගෙන ඇති විය හැකි නායයාමේ තර්ජනය අවම කළ හැක. මෙයට අමතරව, නායයාමේ විභව්‍යතාව සහ අවදානම විශ්ලේෂණය කිරීමේ ගවේෂණයකින් පසුව, ඉඩම් පරිහරණ සැලසුම්කරණය, ඉදිකිරීම් සහ ක්‍රියාත්මක කරන වෙනත් සංවර්ධන කටයුතු උදෙසා අදාල ස්ථානවලට විශේෂිත වූ නායයාමේ තර්ජනය අවම කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබද උපදෙස් ද සපයනු ලැබේ.
නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශ (ඉංග්‍රීසි)
නායයාමට ඉඩ ඇති ප්‍රදේශවල ඉදිකිරීම් සඳහා මාර්ගෝපදේශ (සිංහල 2)

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණයලිහිල් කිරීම

නායයෑමට ලක් වූ කඳු බෑවුම් ස්ථායිකරණය

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමට ලක්වන කඳු බෑවුම් ව්‍යුහාත්මකව ස්ථායි කිරීමේ ප්‍රධාන ව්‍යාපෘති තුනක් පේරාදෙනිය, පදියපැලැල්ල සහ මහවැව යන ප්‍රදේශ තුල ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, යෝග්‍ය ඉඩම් පරිහරණ පිළිවෙත් හඳුන්වා දීමෙන් නායයාමේ බලපෑම අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන ව්‍යාපෘති දෙකක් ද, බදුල්ල හා මාතලේ යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කර ඇත.

පේරාදෙනියේ නායයෑම ස්ථායිකරණය

කොළඹ - නුවර මාර්ගය සහ පේරාදෙනිය නගරය අසල පේරාදෙනිය නායයාම සිදුව ඇත. නගරයේ කඩ කීපයක් විනාශ කරමින් මාර්ගයේ වාහන ගමනාගමනය සති කීපයකට අඩාල කරමින් 2006 නොවැම්බර් මාසයේ දී මෙම නායයාම සිදු විය. පේරාදෙනිය ඓතිහාසික මහනුවර නගරයට දොරටුවකි. එබැවින් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය භාවිතා කරන්නන්ගේ පහසුව සඳහා ද, පේරාදෙනිය නගරවාසීන්ගේ සහ පේරාදෙනිය නගරයට පැමිණෙන්නන්ගේ යහපත සඳහා ද මෙම නායයෑම ස්ථායි කිරීම අත්‍යාවශ්‍ය කටයුත්තකි..
නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2008 නොවැම්බර් මාසයේ දී භූ රූපන ලක්ෂණ, භූ විද්‍යා සහ භූ ජල විද්‍යාත්මක සමීක්ෂණ පැවැත්වීමත් සමග ලිහිල් කිරීමේ වැඩ ආරම්භ විය. භූ තාක්ෂණ ඉංජිනේරු අංශය භූ තාක්ෂණ ගවේෂණ පැවැත්වී ය. පරිසර බලපෑම් ඇගයීම සහ පසුවිපරම මගින් පරිසර අංශය දායක විය. මෙම බහු-ශික්ෂණ අධ්‍යයනවල ප්‍රතිඵල අනුව නායයාම් අධ්‍යයන සහ සේවා අංශය, බෑවුම මට්ටම් කැපීම සහ හෙල්මලු සකස් කිරීම, ගල් පිපිරවීම, පස වැරගැන්වීම, පාෂාණ වැරගැන්වීම සහ පස මතු පිට ජලාපවහනය ක්‍රමවත් කිරීම වැනි ව්‍යුහාත්මක ක්‍රම නායයෑම ස්ථායිකරණය සඳහා අනුගමනය කළේ ය.
මෙම නායයාම ප්‍රතිසක්‍රීය වීමේ ලකුණු, ස්ථායිකරණය කටයුතුවල නියුතු ව සිටි නායයාම් අධ්‍යයන සහ සේවා අංශයේ නිරීක්ෂණයට භාජන වීමෙන් අනතුරු ව, ඒ ගැන පූර්ව අනතුරු ඇඟවීම සහ පණිවුඩය, ජීවිත ආරක්ෂා කිරීමට හදිසි පියවර ගැනීම සඳහා, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට, නුවර දිස්ත්‍රික් ලේකම්වරයාට සහ පේරාදෙනියේ පොලීසියට දැන්වීම වැනි ක්‍රියා මගින් කඩිනම් ප්‍රතිචාර දැක්වීමට හැකිවිය. 2009 ඔක්තෝම්බර් 15 දින පෙරවරු 2.30ට පමණ ගන්නෝරුව කෘෂි පර්යේෂණ මධ්‍යස්ථාන යේ වාර්තා වූ පරිදි මි.මී. 80.3 ක වර්ෂා පතනයක් පැවති අවස්ථාවේ පේරාදෙනිය නායයාම ප්‍රතිසක්‍රීය විය. නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් අස්ථාවර ගල් ඉවත්කොට මීටර් 40 ක් දිග මීටර් 3.5 ක් උස වැටියක් මාස 03 ක් ඇතුළත ඉදිකොට 2010 ජනවාරි මාසයේ දී කොළඹ නුවර පාර විවෘත කිරීමට අවස්ථාව සලසන ලදී.
මෙම ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 80 කි. ස්ථායිකරණ කටයුතු තවදුරටත් සිදුවන අතර 2011 දෙසැම්බර් මාසයේ දී අවසන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

පදියපැලැල්ල නායයාම ස්ථායිකරණය.

වලපනේ හඟුරන්කෙත ප්‍රධාන පාර අසල පදියපැලැල්ල නගරයේ, 2007 ජනවාරි 12 දින සිදු වූ මෙම නායයාම නිසා නිවාස තුනකට වැඩි සංඛ්‍යාවක් විනාශ වූ අතර මාර්ගයේ වාහන ගමනාගමනය ද, අඩාල විය. පදියපැලැල්ල යනු හඟුරන්කෙත සහ වලපනේ අතර පිහිටි ප්‍රධානම නගරය වන අතර මතුරට සහ මන්දාරම්නුවරට ප්‍රධාන ප්‍රවේශය ද පදියපැලැල්ල හරහා වැටී ඇත. එබැවින් ව්‍යාපාරික ප්‍රජාවගේ ද, මාර්ගය භාවිතා කරන්නන්ගේ ද, නගරවාසීන්ගේ ද, පදියපැලැල්ලට පැමිණෙන්නන්ගේ ද, යහපත සඳහා මෙම නායයාම ස්ථායි කිරීම අවශ්‍ය විය.

    නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2009 ජනවාරි මාසයේ දී භූ රූපන ලක්ෂණ, භූ විද්‍යා සහ භූ ජල විද්‍යාත්මක සමීක්ෂණ පැවැත්වීමත් සමග ස්ථායිකරණ කටයුතු ආරම්භ විය. භූ තාක්ෂණ ඉංජිනේරු අංශය භූ තාක්ෂණික ගවේෂණ පැවැත් වූ අතර, මානව ජනාවාස අංශය සමාජ විද්‍යාත්මක හැදෑරීම් සිදු කළේ ය. මෙම බහු තාක්ෂණික අධ්‍යයන පදනම් කර ගෙන, රැඳවුම් ව්‍යුහයන් තැනීම, පස මතුපිට ජලාපවහනය ක්‍රමවත් කිරීම ආදී ව්‍යාහාත්මක ස්ථායිකරණ ක්‍රම අනුගමනය කිරීම, යොදාගත යුතු වඩාත් ම යෝග්‍ය පිළිවෙත් බව තීරණය විය. රැඳවුම් ව්‍යුහයන් තැනීම දැන් සිදු වේ.
    ස්ථායිකරණ ක්‍රියාදාමය 2011 වසර අවසානයේ දී නිමවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුළු පිරිවැය රුපියල් මිලියන 71 කි.

    මහවැව නායයාම ස්ථායිකරණය.

    2007 ජනවාරි 12 දින මහ වර්ෂාව සමග, නුවරඑළිය දිස්ත්‍රික්කයේ කුඹල්ගම, මහවැව නායයාම සිදු වූ නායයාම නිසා නිවාස 65 කට වැඩි සංඛ්‍යාවකට හානි සිදු විය. එබැවින් සියළු ගම්වැසියන් එවකට පදිංචි ස්ථානවලින් ඉවත් කරනු ලැබී ය. ප්‍රථම නායයාමට පසු පැවති මහ වැස්ස නිසා, නායයාම සිදුවන පෙදෙස ක්‍රමයෙන් වලපනේ හඟුරන්කෙත ප්‍රධාන මාර්ගය දක්වා තවදුරටත් ව්‍යාප්ත විය. මෙම නායයාම ප්‍රතිසක්‍රීය වුවහොත් එමගින් බෑවුමේ ඉතා පහළ කොටසේ පිහිටි කීර්ති බණ්ඩාර විද්‍යාලයට හානි සිදු වීමට ඉඩ ඇති බැවින් නායයාම් අධ්‍යයන සහ සේවා අංශය, ශ්‍රී ලංකා රජයේ ද, ජපානයේ අන්තර්ජාතික සහයෝගිතා නියෝජිත ආයතනයේ ද ආධාර ඇතිව, නායයාම ස්ථායිකරණය කිරීමට තීරණය කළේ ය.
    නායයාම් අධ්‍යයන සහ සේවා අංශය විසින් 2009 වර්ෂයේ දී භූ රූපන ලක්ෂණ, භූ විද්‍යා සහ භූ ජල විද්‍යාත්මක සමීක්ෂණ පැවැත්වීමත් සමග ස්ථායි කිරීමේ ක්‍රියාදාමය ආරම්භ විය. මහවැව නායයාමේ ස්ථායි කිරීමේ කටයුතු අදියර තුනකින් ක්‍රියාත්මක කරනු ඇත. එනම් (අ) බෑවුම මත සංචලන සංවේදක සවි කිරීම. (ආ) පසුවිපරම සහ (ඇ) ස්ථායි කිරීම වේ. පළමු පියවර යටතේ ස්වයංක්‍රීය වර්ෂාමානක, විතතිමාන සහ විත්‍රියා ආමාන සවි කිරීම සිදු කරන ලද අතර භූමි සංචලනය පසුවිපරම් කිරීම දැන් සිදු වේ.

    බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාමේ බලපෑම අවම.

    මානව ක්‍රියාකාරකම් අධික වීම සහ කඳුකර ප්‍රදේශවල සැලසුමකින් තොර සංවර්ධන කටයුතු නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ නායයාම වැඩි වශයෙන් සිදුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයනයන්ට අනුව පෙනී ගොස් තිබේ. එබැවින් බදුල්ල දිස්ත්‍රික්කය සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ ක්‍රියාදාම හඳුන්වා දීමෙන් ව්‍යුහාත්මක නොවන නායයාමේ බලපෑම අවම කිරීමේ  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සමග ඒකාබද්ධව ක්‍රියාත්මක  කෙරේ. දිස්ත්‍රික්කයෙහි යාවත්කාලීන කරන ලද ඉඩම් පරිහරණ සිතියම් ඉහත සඳහන් දෙපාර්තමේන්තුව විසින් සපයන අතර නායයාමේ අවදානම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අධ්‍යයනය කර විශ්ලේෂණය කරනු ඇත. මෙම ව්‍යායාමයේ මූලික ප්‍රතිඵලය වශයෙන් ගොඩනැගිලි සහ වෙනත් ඉදිකිරීම් සඳහා යෝග්‍ය ඉඩම් පරිහරණ සහ තාක්ෂණික ක්‍රමවේදයන් සහ එම ක්‍රමවේද ක්‍රියාවට නැංවීමේ මාර්ගෝපදේශ සම්පාදනය කෙරේ. සම්පාදිත ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව විසින් සිදු කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 03 කි.

    මාතලේ දිස්ත්‍රික්කයේ නිරීක්ෂිත භූමිය කිඳා බැසීමේ අවදානම අවම කිරීම.

    2006 වර්ෂයේ දී, මාතලේ නගරයට ආසන්න විශාල ප්‍රදේශයක පිහිටි නිවාස රාශියක ඉරිතැලීම් ඇති වීම, හදිසියේ පොළවේ කිඳා බැසීම් ඇති වීම සහ ජල උල්පත් රැසක් පොළවේ ඇති වීම වැනි අසාමාන්‍ය සිදුවීම් දක්නට ලැබුණි. උකුවෙල සිට මාතලේ නගරය හරහා පලාපත්වල දක්වා විශේෂිත කලාපයක ගෙවල් ඉරිතැලීම තැනින් තැන සිදු වී තිබුණි. මෙම තත්ත්වය අතිශයින් භයානක බව නිගමනය විය. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ දී මාතලේ සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හී ග්‍රාම නිලධාරී වසම් 24 ක ඉරිතැලීම සිදු වූ ගෙවල් 3000 ක් පමණ හඳුනා ගන්නා ලදී.
    නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මගින් සිදු කළ විස්තරාත්මක අධ්‍යයනයකින් පසු කිඳා බැසීමේ උවදුරට පාත්‍ර වන කලාප සටහන් කළ සිතියම් සකස් කරන ලදී. ඉන් පසුව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් මෙම ආපදාව අවම කිරීමේ ව්‍යුහාත්මක නොවන  ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එම ව්‍යාපෘතියෙහි අරමුණ නම් ගොඩනැගිලි ඉදිකිරීම සහ භූමිය මත ජලාපවහනය ක්‍රමවත් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීම යි. තව ද යෝජිත මාර්ගෝපදේශ අනුගමනය කිරීමේ වැදගත්කම ප්‍රජාවට අවබෝධ කිරීමට ද පියවර ගන්නා ලදී. ව්‍යාපෘතියෙහි සම්පූර්ණ පිරිවැය රුපියල් මිලියන 2.0 කි.

    දැනුවත් කිරීමේ සහ පුහුණු කිරීමේ වැඩසටහන්

    නායයාම් සහ නායයාමේ තර්ජනය සමග ජීවත් වීමේදී විමසිලිමත් විය යුතු කරුණු පිළිබඳ කඳු බෑවුම්වල ජීවත් වන ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන යේ නායයෑම් අධ්‍යයන හා සේවා අංශය මෙහෙයවයි. වැඩසටහන්වල අරමුණුගත කණ්ඩායම් වන්නේ පාසල් ළමුන්, තීරණ ගන්නන්, සැලසුම්කරුවන්, පරිපාලකයන්, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන් සහ ගැමි ජනතාව ය. දැනුවත් කිරීම සඳහා පොත්, පෝස්ටර්, වීඩියෝ පට සහ අත්පොත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් සකස් කර ඇත.
    • නායයාම ආශ්‍රිත දැනුවත් කිරීමේ / පුහුණු කිරීමේ වැඩසටහන් සඳහා ඉල්ලීම්.
    • ශ්‍රී ලංකාවේ නායයාම්.
    • නායයාම් ගැන පූර්ව අනතුරු ඇගවීම්.
    • නායයාමේ තර්ජනය අඩු කිරීමේ පියවර.
    • මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?
    • නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට මා කුමක් කළ යුතු ද?
    • නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?

    නායයාම් පූර්ව අනතුරු ඇඟවීම

    සංවර්ධන කටයුතු සිදු කිරීමේ දී නායයාමට ඉඩ ඇති ප්‍රදේශ මගහැරවීමට කල් ඇතිව ලැබෙන අනතුරු ඇඟවීමේ මෙවලමක් ලෙස නායයාම් ආපදා කලාප සිතියම භාවිතා කළ හැකි වුවත්, ඉහළ මට්ටමක නායයාමේ විභව්‍යතාවයක් පවතින බොහෝ ප්‍රදේශවල ජනයා දැනටමත් පදිංචි වී සිටින බැවින් මෙම ප්‍රජාවගේ ජීවිත ආරක්ෂා කිරීමට වර්ෂාපතන දත්ත සහ නායයාමේ විභව්‍යතාවයේ තීව්‍රතාව පදනම් කොට ගෙන නායයාම් අධ්‍යයන සහ සේවා අංශය නායයාම ගැන පූර්ව අනතුරු ඇඟවීම් සිදු කරයි.
    • ආදර්ශ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනයක් නිරීක්ෂණය කිරීමට
    • මහවැසි පවතින විට කුමක් කළ යුතු ද?
    • නායයාම් ගැන කල් ඇතිව අනතුරු ඇඟවීමක් ලැබුණ විට කුමක් කළ යුතු ද?
    • නායයාමක් පවතින විට කුමක් කළ යුතු ද?