බදුල්ලේ සියලු විස්තර




පිහිටිම අනුව භූගෝලීය සමාජ ආර්ථික පසුබිම     
             නැගෙනහිරින් හා දකුණින් මොණරාගල දිස්ත්‍රික්කය සහ රත්නපුර දිස්ත්‍රික්ක ද උතුරින් අම්පාර හා මහනුවර දිස්ත්‍රික්ක ද බස්නාහිරින් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්ක ද මායිම් වන බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා ද්විපයේ පිහිටි වර්ග සැතපුම් 2861 ක මනෝරම්‍ය භූමි භාගයකි. නමුණුකුල, නාරංගල, හපුතලේ, ගොම්මොල්ලිය, නායබැද්ද කදු පන්ති සමුහයෙන් සුසැදි එම කඳු පන්ති ඇදි සේද සළු සේ අයස්කාන්තව ඇඳහැලෙන රිදීවන් දියදහරාවන්ගෙන් සපිරි දියළුම, දුන්හිඳ, බඹරකන්ද, රාවණා ඇල්ල, බෝඹුරු ඇල්ල, ආදී දිය ඇලි බදුළු පුර සිරි අසිරිය චිත්තාකර්ෂණීයත්වයට මෙන්ම සෝභමානත්වයට පත් කිරිමට සමත්ව ඇත. මැණික් ගඟ, කිරිදි ඔය, කුඹුක්කන් ඔය, ආදියෙහි ප්‍රධාන ජල පෝෂණ ප්‍රදේශයෙන් ලෙසත්, නමුණුකුල, නායබැද්ද, කඳු මතින් ගලන දිය දහරා ගලාබසී.ග‍ගේ ප්‍රධානතම අතු ගංඟාව වන උමා ඔය ආරම්භයේ සිට මහවැලි ගංතෙර තෙක් ගමන් ගන්නේ නිම්නාශ්‍රිත කෙත්වතු සශ්‍රීකත්වයට පත්කරමිනි. බදුළු ඔය, හාල් ඔය ආදිය ද බදුල්ල ප්‍රදේශයේ කෘෂිකාර්මික කටයුතු සඳහා දියවර සැපයේ.               පාරසරික අතින් ගත්කල්හි ජෛව විවිධත්වයෙන් ආඩ්‍ය තුරු සියතුන්ගෙන් ගහන ප්‍රදේශයක් ලෙස කැපීපෙනේ. පැය කිහිපයක් ඇතුළත විවිධ දේශගුණික තත්වය සහිත ප්‍රදේශ වල, දේශගුණික තත්වයට වඩා හාත්පසින් වෙනස් ලක්ෂණ හපුතලේ, බණ්ඩාරවෙල, දියතලාව, වැලිමඩ ප්‍රදේශ වල දක්නට ලැබේ. ස්වභාව සෞන්දර්යයේ අපුර්ව දායාදයන් ලෙස හපුතලේ හා ඇල්ල කපොල්ල ප්‍රදේශයෙන් පෙන්වා දිය හැකිය. සිතිජය දක්වා දිවෙන අපුරු දසුන් මෙම ස්ථන වල දී දැක ගැනීමට හැකිවීමත්, මෙම ප්‍රදේශය සංචාරකයින්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමට සමත් භූගොලීය වශයෙන් සුන්දරත්වයක් ගෙන දෙන ස්ථානයක් ද වේ. ජන ව්‍යාපෘතිය අනුව සිංහල, දෙමළ, මුස්ලිම් වශයෙන් මිශ්‍ර ජන ව්‍යාප්තියක් පෙන්නුම් කෙරේ. කඳුකරය ආශ්‍රිතව ප්‍රදේශවල තේ වගාව බදුල්ල දිස්ත්‍රික්කයේ බහුතර ප්‍රදේශයක් තුළ දක්නට ලැබේ. අර්තාපල් වගාව වැලිමඩ, ඌව පරණගම, බණ්ඩාරවෙල මෙන්ම හපුතලේ ප්‍රදේශ වල ද ඉතා හොඳින් වගා කළ හැකි අතර, ශ්‍රී ලාංකීය එළවළු නිශ්පාදනයේ ප්‍රමුඛ දායකත්වයක් බදුල්ල දිස්ත්‍රික්කය තුළින් ලබා දේ.
             ශ්‍රී ලංකාවේ මධ්‍ය කදුකරයෙහි නැගෙනහිර කොටසෙහි පිහිටි බදුල්ල දිස්ත්‍රික්කය වෙනමම " භූගෝලීය ප්‍රදේශයක් " ලෙස හැදින්විය. උතුරින් දුම්බර යටි නැම්මෙන් ද, නැගෙනහිරින් හා දකුණින් උස් කදු වේදිකා වලින් ද, බටහිරින් මධ්‍ය කදුනාරටියේ නැගෙනහිර මායිමෙන් ද වටවුණු මෙම ප්‍රදේශය සැබවින්ම " ද්‍රෝණියකි" ද්‍රෝණියේ සාමාන්‍ය උන්නතාංශය මීටර් 1400 ක් තරම්ය. වැලිමඩ සානුව, බදුලු ද්‍රෝණිය, නමුණුකුල හා මඩොල්සිම වැටි, නැගෙනහිරින් හා දකුණු වේදිකා ප්‍රදේශයේ පැහැදිළි භෞතික ලක්ෂණ විද්‍යාමාන කරවයි. හපුතලේ වැටිය ද්‍රෝණියේ නිරිතදිග මායිමේ පිහිටියේය.
            විද්‍යානුකූලව බදුලු දිස්ත්‍රික්කයේ පවතින්නේ දැඩි සංකීර්ණත්වයකි.  මෙම සංකීර්ණ පටු නිම්න ඔස්සේ  ගලන ගංගාප්‍රතිරෝධක පාෂාණ පිහිටි ප්‍රදේශ හෝ විභේද නිසා ඇති වු මොහොර වලින් ගැලීමේදී දිය ඇළි ඇති කරයි. උමා ඔයේ බටහිර ශාඛාවේ කුරුදු ඔය ඇල්ල සහ රාවණා ඇල්ල ද මෙසේ ඇති වු දිය ඇළි වලට උදාහරණයි. කෙසේ වෙතත් සමස්ථයක් වශයෙන් ගත් කළ බදුලු ද්‍රෝණිය තුළ ඇත්තේ ජාලාකාර ජලවහන රටාවකි.
                  වර්ෂාපතන රටාව අනුව ප්‍රධාන ඝෘතු හතරකට බෙදිය හැකිය.
     I.      වසන්ත සංවහන වර්ෂා කාලය (මාර්තු, අප්‍රේල් මාස)
    II.      නිරිතදිග මෝසම් ඝෘතුව (ජුනි - සැප්තැම්බර්)
   III.      සරත් සංවහන වාසුළි ඝාතුව ( සැප්තැම්බර් අග සිට ජනවාරි අග දක්වා)
   IV.      ඊසාන දිග මෝසම් කාලය (නොවැම්බර් සිට ජනවාරි අග දක්වා).

                ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය ගත්විට මිලිමිටර්1397 කි එහෙත් ද්‍රෝණියේ දකුණු කොටස් වලට මිලිමීටර් 1524 - 1905 ක් පමණ වර්ෂාපතනයක් ලැබේ. ප්‍රදේශයේ උන්නතාංශය අනුව උෂ්ණත්වය වෙනස් වේ. මීටර් 2000 ක් පමණ උස් වන නමුණුකුල කදු ප්‍රදේශයේ වාර්ෂික උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 20.6 ක් පමණ වන අතර දියතලාවේදී එය සෙන්ට්‍රිග්‍රේඩ් අංශක 23.4 ක්ද, බදුල්ලේදී 25.2 ක්ද වේ.
             කෘෂි රටාවේද පැහැදිළි විවිධත්වයක් ඇත. අතු ගංගා ආශ්‍රිත්‍ර තැනිතලා බිම් වල ද, නමුණුකුල බෑවුම් ප්‍රදේශ වල ද, ජල සම්පාදනය කළ හැකි ප්‍රදේශ වලද වී වගා කරනු ලැබේ. වියළි පරිසරයක් ඇති උස් බිම් වල  හේන්  ගොව්තැන්  කෙරේ. හේන් ගොවිතැන හා කොරටු වගාව තුළින් එළවළු වගාව ඉතා සාර්ථකව පවති. බදුල්ල, බණ්ඩාරයවල, දියතලාව, වැලිමඩ හා ඌවපරණගම යන ප්‍රසද්ශ වල සෞම්‍ය කලාපීය එළවළු වර්ග විශාල වශයෙන් වගා කෙරේ. අර්තාපල් වගාවද බහුලව සිදු කෙරෙන අතර එය මේ වන විට දිවයිනේ වැඩිම අර්තාපල් වගා බිම් ප්‍රමාණය බවට සිටි. දිස්ත්‍රික්‍කයේ බිම් ප්‍රමාණයෙන් පතන් හැරුණු විට ඉතිරියෙන් විශාල කොටසක් ව්‍යාපාරික වතු වගාවට යට වී ඇත. බදුල්ල, පස්සර, මඩොල්සිම, ලුණුගල, ඇටම්පිටිය, දෙමෝදර, නමුණුකුල, හපුතලේ, ඌවපරණගම, වැලිමඩ යන ප්‍රදේශ වල විශාල වශයෙන් තේ වගාව පැතිර පවති. සුළු ආර්ථික බෝග වශයෙන් කෝපි, කොකෝවා, ගම්මිරිස්, වැනි වගාවන් ද සෑහෙන පමණින් කෙරේ.කෘෂිකර්මය හා සැසදීමේ දී දිස්ත්‍රික්කයේ කර්මාන්ත වලට හිමිවනුයේ තරමක පහත් තැනකි. තිබෙන කර්මාන්ත වලින් සමහරක් කර්මාන්ත ඒවාට අදාල භූ සාධක ඇති ප්‍රදේශ වල තරමක ආදායම් මාර්ග බවට පත් වී තිබේ. නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත විවිධ කර්මාන්තයන් ද බිහිවෙමින් පවතින අතර සංචාරක කර්මාන්තය ද තරමක් දුරට ව්‍යාප්තව ඇත.
-ඉහළට-   

    බදුල්ල දිස්ත්‍රික්කයේ ඓතිහාසික පසුබිම.
                   ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයකට උරුමකම කියන බදුල්ල දිස්ත්‍රික්කයේ ඉතිහාසය පිරික්සීමේ දී ගම්‍යමාන වන්නේ විජයාවතරණයටත්පෙර රාජ්‍ය ව්‍යුහයක් සහිත දියුණු ජන කොටසක් ජීවත් වු ප්‍රදේශයක් ලෙසය. රාවණා ඇල්ල ප්‍රදේශය මීට වසර 6000 කට පෙර එනම්, ක්‍රි.පූ. 1800-1900 පෙර සිය නිජභූමිය කොට ගෙන රාජ්‍ය පාලනය කලේ යැයි ජන ප්‍රවාදයේ එන රාවණා රජු පිළිබඳ ඉතිහාසය පුරාවෘත්තය විමසීමේ දී  සනාථ වන ප්‍රබල සාධකයන් රැසක් ඉන්දීය සාහිත්‍ය ඉතිහාසයෙන් හමුවේ. චාල්මිකි විසින් රචිත රාමායනය රාවණා රජු හා සබැදිව ලියන ලද කෘතියක්ය. එමෙන්ම රාවණා වීණාව නමින් සංගීත භාණ්ඩයක්ද පැවත ඇත.
                  බදුල්ල දිස්ත්‍රික්කයේ ඉපැරණි ජනාවාස පිළිබඳ ප්‍රබලත සාක්ෂිය අපට හමුවන්නේ බුදුපියාණන් වහන්සේ ක්‍රි.පු.06 වන සියවසේ බුද්ධත්වයෙන් 09 වන වස මහවැලි ගංගා නිම්නයේ සිය ජනාවාස පිහිටුවා ගෙන සිටි යක්ෂ ගෝත්‍රිකයන් ජීවත් වු වත්මන් මියුගුණ සෑ රදුන් පිහිටි ස්ථානයට වැඩම වීමයි. මෙය බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය වීමත් සුවිශේෂි සිදු වීමකි. බුදු පියාණන් වහන්සේගෙන් බණ ඇසු සුමන නම් ජන ප්‍රධානියා බුදුපියාණන් වහන්සේගෙන් පුද සත්කාර කිරීම සදහා යම් පාරිභෝගික වස්තුවක් ඉල්ලා සිටි අවස්ථාවේ කේෂධාතු මිටක් බුදුරදුන් විසින් පිරිනමා ඇත. එම ධාතූන් වහන්සේලා තැන්පත් කොට සුමන සමන් ජන ප්‍රධානියා විසින් ඉදිකල සෑය යුග කිහිපයකදී ප්‍රතිසංස්කරණය වී ඇත. එය වත්මන් මියුගුණ සෑරදුන් බවයි, ඉතිහාසයේ සදහන් වන්නේ. චෛත්‍යක් නිර්මාණය කිරීමට තරම් කලා කුසලතාවයක් මෙන්ම දියුණු සමාජ ක්‍රමයක් තිබීමෙන් ගම්‍යමාන වන්නේ බුදුන් දවස පවා මෙම ප්‍රදේශ දියුණු තත්වයක පැවති ප්‍රදේශ ලෙසය. සුමන සමන් නමින් සිටි ජන ප්‍රධානියා පසුව සුමන සමන් දෙවියන් ලෙසින් පිදුම් ලැබු බව සදහන් වේ. බුදු දහම වැනි ගැඹුරු දහමක් අවබෝධ කර ගැනීමට තරම් ඔවුන් එදා ඥාණවන්ත පිරිසක් ලෙසින් ඔවුන් දියුණු සංස්කෘතියක් සහිත ජන කොටසක් ව ඉන්නට ඇතැයි සිතිය හැකිය.
               බුදු පියාණන් වහන්සේගේ ලංකා ගමනයේ දී බදුල්ල දිස්ත්‍රික්කයේ තවත් සුවිශේෂි ස්ථානයක් වන්නේ ඓතිහාසික බදුල්ල මුතියංගණ රජමහා විහාරස්ථානය  පිහිටි පුණ්‍ය භූමියයි. බුදුපියාණන් වහන්සේගේ තෙවන වර ලංකා ගමනය සිදු වු අවස්ථාවේ මෙහොතක් සමාධි සුවයෙන් මෙම ස්ථානයේ වැඩ සිට ඇත. මෙම ස්ථානයේ දී ද ඉන්දික නම් ජන ප්‍රධානියෙක් දහම් අසා පැහැදී වන්දනා මාන කිරීමට යමක් ඉල්ලු විට බුදුරජණන් වහන්සේ ඩා බිදු කිහිපයක් දුන් බවත්, මොහොතකින් ඒවා මුතු බවට පත් වු බවත්, එම මුතු තැන්පත් කොට ඉදිකල චෛත්‍ය මුතියංගණය ලෙසින් ප්‍රසිද්ධ වී ඇත. නමුණුකුලට අධිපති දෙවියන් ලෙසින් මෙතුමන් පසු කාලීනව ප්‍රසිද්ධ ව ඇත.            මේ කරුණු අනුව, සනාථ වන්නේ මෙම ප්‍රදේශ වල කිසියම් වු ජන ප්‍රජාවක් අතීතයේ සිට ජීවත් වු බවයි.      -ඉහළට-
      විජයාවතරණය හා මහින්දාගමනයෙන් පසු යුගය
                 සුමන  හා සමන් දෙවියන් දෙදෙනා මෙම ප්‍රදේශ වල නායකත්වය ගෙන කටයුතු කළ ජන ප්‍රධානින් බව (ඌව දනව්ව ග්‍රන්ථය) සදහන් වේ. මෙයින් ගම්‍යමාන වන්නේ ප්‍රදේශ භාර නායකයින් සිටියේ නම්, මෙම ප්‍රදේශ ජනාවාසව දියුණුව පැවති බවයි. මෙයින් අපට ඒත්තු වන තවත් කරුණක් නම්, බදුල්ල යනු දිගු ඉතිහාසයක් ශිෂ්ටාචාරයක් සහිතව වසර දහස් ගණනක් තුළ ගොඩනැගුණු ප්‍රදේශයක් ලෙසය.
                 ආර්ය වංශික විජයගේ ලංකා ආගමනය ශ්‍රී ලංකාවේ ඉතිහාසයේ තවත් සුවිශේෂී සිදුවීමකි. විජය ඇතුළු පන්සීයයක් පිරිස තම්බපන්නියෙන් ගොඩබට අවස්ථාවේ ඔවුන්ට පළමුවෙන්ම හමුවන්නේ කුවේණී නම් යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. එම අවස්ථාවේ ඈ කපු කටින්ම සිට ඇත. මෙකළ රෙදි පිළි නිර්මාණය පිළිබඳ ලාංකිකයෝ දැන සිටි බව මින් ප්‍රකට වේ. කුවේණියගේ ආධාරයෙන් යක්ෂ ගෝත්‍රිකයන්ගෙන් උපක්‍රමිකව පාලන තන්ත්‍රය පැහැර ගන්නා විජය, කුවේණිය සරණ පාවා ගනි.ටික කලෙකින් කුවේණිය විජය විසින් පන්නා දමන ලදුව, කුවේණිය ආරක්ෂාව පතා සිය ඥාතින් සිටි මහියංගණයට පැමිණි බව සදහන් වේ. මෙයින් සනාථ වන කරුණ වන්නේ ඓතිහාසික යුගයට පෙර යුගයේ දී පවා මෙම ප්‍රදේශ ආරක්ෂිත ප්‍රදේශයක් මෙන්ම ස්වාධීන මිනිසුන් ජීවත් වු ප්‍රදේශයක් බවයි.
    -ඉහළට-

     මහින්දාගමනයෙන් පසු යුගය.                ශ්‍රී ලංකාවට සතුරු උවදුරු පැන නැගි සෑම අවස්ථාවකම පර සතුරු උවදුරු මැඩලීමේ ජයභූමියක් ලෙස ඌව, මහා කාර්යභාරයක් ශ්‍රී ලාංකීය මාතාවට ඉටුකොට ඇත. සතුරු උවදුරු පැන නැගි අවස්ථාවල රජවරු සිය රාජ්‍ය ආරක්ෂා කර ගැනීම සඳහා සේනාව සංවිධානයට ආරක්ෂිත ප්‍රදේශයක් ලෙස බදුල්ල තෝරා‍ ගෙන ඇත. මෙම ප්‍රදේශ වල ජීවත් වුවන් රණකාමීත්වයෙන් පිරි  ජාතියක් වීම ද මෙයට බලපාන්නට ඇත. වළගම්බා භූපතියන් බදුල්ල දිස්ත්‍රික්කයේ සෑහෙන කලක් වාසය කිරීම මීට කදිම උදාහරණයකි. මෙතුමන් ආරක්ෂාව පතා නැවතී සිටි සෑම ගල්ලෙනක්ම රාජ්‍යත්වයට පත් වීමෙන් පසු විහාරාරාමබවට පත්කොට පුජා කොට ඇත. එමෙන්ම සතුරු උවදුරු ඇති වු හැම විටම ආර්ථිකය ගොඩනැගීමට මෙම ප්‍රදේශය මහත් පිටුවහලක් ලබා දී ඇත. වර්තමානයේ මොණරාගලට වැඩි කොටසක් වෙන් වී ඇති වෙල්ලස්ස ප්‍රදේශය මීට උදාහරණයකි. සියළු යුග වල රාජ්‍ය පාලනය කළ රජවරුන්ගේ නොමද අනුග්‍රහය බදුල්ල ප්‍රදේශයට ලැබී ඇති බව මනාව පසක් වන්නේ මහියංගණය, මුතියංගණ සෑරදුන් විවිධ යුග වල දී විවිධ රජවරුන් විසින් ප්‍රතිසංස්කරණය කිරීමත් විවධ රජවරු විසින් විවිධ යුග වල දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවල ඉදි කොට තිබෙන විහාර ආරාමත් මේවාට ගම්වර ආදීය පුජා කිරිමත් නිසාය. සොරබොර, මිණිපේ වැනි දැවැන්ත වාර් ශිෂ්ඨාචාරයක් බදුල්ල ප්‍රදේශයේ කෘෂිකර්මාන්තයට ලැබු නොමද රාජ්‍ය අනුගහය මනාව කියාපායි.
                     අනුරාධපුර රාජධානියෙන් ආරම්භ වී සතුරු උවදුරු ඇති වීම නිසා රාජධානි ක්‍රමයෙන් රටේ සෙසු ප්‍රදේශ කරා සංක්‍රමණය වන්නටත් විය. . එමෙන්ම ප්‍රාදේශීය වශයෙන් පාලකයන් බිහිවීම ද පසුකාලීනව කැපී පෙනෙන ලක්ෂණයක් වේ. මේ අතරින් බදුල්ල ප්‍රදේශයට වැදගත්ම කාලය ලෙස හඳුන්වන්නේ 01 වන විමලධර්මසුරිය රජු සමයයි. මෙකල ඌවේ උප රජු ලෙස රාජ්‍ය පාලනය කර ඇත්තේ මායාදුන්නේ නම් යුව රජුය. විමල ධර්මසුරිය රජගේ සමයේ මෙරටට පෘතුගීසීන් ආක්‍රමණය ඉතා දැඩිව පැවතුනි. මෙයට මුහුණ දීමට නොහැකි බව දැනගත් විමලධර්ම සුරිය රජු සිය සුළු මවගේ පුතු වන සෙනරත් කුමරුට සටන් කරන්නට සිදුවිය ඔහුට සිටි ප්‍රධානතම සතුරා වුයේ ඌවේ යුව රජු වු මායාදුන්නේ රජුය.
                    1604 දී 01 වන විමලධර්මසුරිය රජු මිය ගිය අතර දෙනවක නම් තවත් ප්‍රාදේශීය පාලකයෙක් ද විමලධර්මසූරිය රජුගේ වැන්දඹු බිසව වු දෝනකතිරිනා හෙවත් කුසුමාසන දේවිය වෙත තම රාජ්‍ය අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නට විය. සෙනරත් කුමරු හා මායාදුන්නේ රජු අතර, සටහනින් මායාදුන්නේ රජු මරණයට පත් වීම නිසා මේ වන විට දෙනවක නම් වු යුව රජු ද පසු බැස ගියේය. පසුව සෙනරත් කුමරු රාජාභිෂේක ලැබු අතර, දෝන කතිරිනා බිසවද අගබිසව ලෙස සරණ පාවා ගන්නා ලදී. 
                     මේ වනවිට පෘතුගීසින් අතර, උඩරට රාජධානිය කෙරෙහි වඩාත් දැඩි ආක්‍රමණකාරි ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් උඩරට සිය පාලනයට නතු කර ගැනීමට නිරන්තරයෙන් උත්සාහයක නිරත විය. නිතර නිතර උඩරටට ඇතුළු වු ඔවුන් මංකොල්ල කෑමටත් ප්‍රදේශ ගිනිබත් කිරීමටත් පටන් ගත්තේය. අවස්ථා කිහිපයකදී ඔවුන් මංකොල්ල කෑමටත් ප්‍රදේශ ගිනිබත් කිරීමටත් පටන් ගත්තේය. අවස්ථා කිහිපයකදී ඔවුන් උඩරට විනාශ කොට ඌව හරහා සබරගමුව ඔස්සේ කොළඹට පැමිණි අතර, ඌවට මහත් විනාශ සිදුකළේය. 1615 දී විශාල පෘතුගීසි හමුදාවක් ඌවට ඇතුලත් විය. සතියක් පමණ කාලයක් බදුල්ලේ නැවති බදුල්ල නගරය ගිනිලා විනාශ කළේය. මේ සිද්ධියෙන් පෙනී යන්නේ උඩරට රජුගේ බලය මේ වනවිට බෙහෙවින් දුර්වල තත්වයක පැවති බවත්, පෘතුගීසීන්ට ප්‍රතිප්‍රහාර දීමට තරම් ශක්තියක් නොවු බවත්ය.
                    සෙනරත් රජුගේ රාජ්‍ය පාලනයේ අවසාන සමයේ දී 1629 දී තම පුත්‍රයින් තිදෙනා වෙත රාජ්‍ය කොටස් 03 නකට බෙදා පාලනය භාර දෙන ලදී. ඒ අනුව වැඩිමහල් කුමාරසිංහ කුමරුට ඌව රටටද, විජයපාල කුමරුට මාතලේ රටටද, තම බාලම පුතු වු රාජසිංහ කුමරුට උඩරට රාජ්‍ය ද භාර කළේය. මෙම රාජ්‍ය බෙදීම පිළිබඳව ඉතිහාසයේ සඳහන් කරන්නේ ඌව රාජ්‍ය පැවරු කුමාරසිංහ කුමාරයා හා මාතලේ රාජ්‍ය පැවරූ විජයපාල කුමරු දෝනකතිරිනා බිසව සරණපාවා ගන්නා අවස්ථාව වන විටත් සිටි බවත්, එම කුමාරවරුන් විමලධර්මසුරිය රජුගේ බවත්ය. රාජසිංහ කුමරු සෙනෙරත් රජුගේම පුත් වු අතර, ඔහුට මුල් රාජ්‍ය පවරා දීමෙන් රාජ්‍යයේ ප්‍රධාන කොටස ඔහුට භාරදුන් බවය. මෙසේ රාජ්‍ය බෙදාදීම උඩරට රාජ්‍යයේ බලය දෙදරා යෑමට ද ඉඩ තිබුණි. එහෙත් සොහොයුරන් තිදෙනා අතර මතභේද ඇති නොවීමටත් වැඩි කාලයක් යාමට මත්තෙන් මුළු රාජ්‍යම එක් වීමත් නිසා එසේ සිදු නොවීය.
                    මෙහිදි ඉතා වැදගත් වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයේ වත්මන් අගනගරය කරගනිමින් රාජ්‍ය පාලනය හෙබ වු කුමාරසිංහ රජු හා ඔහුගේ රාජ්‍ය පාලන සමයත්, රාජධානියන්ය. 1629 සිට 1634 හෝ 1636 දක්වා කුමාරසිංහ රජු මෙම ප්‍රදේශයේ පාලකයා ලෙස කටයුතු කර ඇත. රණකාමිත්වයෙන් ආඩ්‍ය වු අතිශුර පාලකයකු ලෙස කුමාරසිංහ රජුගේ රාජ්‍ය පාලන සමය ඓතිහාසික යුගයක් බවට පත් වන්නේ දැය සුරකීමේ අදිටනින් පෘතුගීසීන්ට එරෙහිව සිදුකළ වික්‍රමාන්විත රණශූරත්වය නිසාවෙනි.
                  ක්‍රි.ව.1630 දී රණශූරයෙකු ලෙසින් ප්‍රකට පෘතුගීසි යුධ සෙන්පතියෙක් වන කොන්ස්තන්තීයානුසා පෘතුගීසි යුධ සෙබළුන් 508 දෙනෙක් හා සිංහල සොල්දාදුවන් 5000 ක් සමඟ ඌවට පහර දීම සඳහා 1630 අගෝස්තු මස 08 වන දින කොළඔින් පිටත්ව ඇත. මැණික් කඩවර හරහා ඉදල්ගස්හින්න කපොල්ලෙන් ඌවට ඇතුළුව මොවුන් බදුල්ලට පැමිණියේය. මේ වන විට කුමාරසිංහ රජු බදුල්ල රජු ලෙස පාලනය කළ අතර, පෘතු ගීසී ආක්‍රමණයන් ඇති වේ යැයි සැකයෙන් සිංහල හමුදාව මේ වන විට බදුල්ල රැකවල්ලා සිටියේය. පළමුවෙන් පෘතුගීසින්ට කුමාරසිංහ රජුගේ සේනාව පසුබැස ඇත. මේ අතර දකුණේ මුදලිවරුන් සමඟ පැමිණි සිංහල හමුදාවෙන් වැඩි කොටසක් ද සිංහල හමුදාවට එක් වීම නිසා පෘතුගිසීන් බියට පත්ව පසු බසින්නට විය. මෙසේ පසු බැස පෘතුගීසි හමුදාවට එක් වීම නිසා පෘතුගීසින් බියට පත්ව පසු බසින්නට විය. මෙසේ පසු බැස පෘතුගීසි හමුදාව වැල්ලවායට නුදුරු රන්දෙණියවෙල ස්ථානයේ රැදී සිටියදී දුනු හී රැගත් සිංහල හමුදාව උපක්‍රමිකව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙදින රාත්‍රියේ මහ වැස්ස නිසා පෘතුගිසී හමුදාවේ වෙඩි බෙහෙත් පවා තෙත බරිතව පැවත තිබී ඇත.
                   ඔවුන්ගේ තෙත වෙඩිබෙහෙත් වේලීම සඳහා අව්වේ ලා තිබී ඇත. කරුංකා ගෙඩියකට ගිනිතබා හීයක දවට සිංහල හමුදාවෝ එම වෙඩි බෙහෙත් වලට ගිනි තැබු බව සදහන් වේ. සිංහල හමුදාවේ දැවැන්ත දුනු හී ප්‍රහාරයක් පෘතුගිසීන්ට එල්ල කළ අතර, ප්‍රහාරය හමුවේ පෘතුගිසී  සේනානායක කොන්තේන්තිනු සා ද ඇතුළුව විශාල පිරිසක් මණයට පත්විය. මෙම ප්‍රහාරය කෙතරම් දැවැන්ත ප්‍රහාරයක් ද කියතොත් 350 දෙනෙක් පෘතුගීසීන් මරණයට පත්ව ඇත. ඉතිරි අය සිංහල හමුදාවේ අත්අඩංගුවට පත්විය. ස්වංක්‍රීය ගිණි අවි ගත් ප්‍රබල යුද හමුදාවකට මෙම සටනේ දී අන්ත පරාජයක් ඇති කර දීමට ඌවේ රණශූර කුමාරසිංහ රජුගේ නායකත්වයෙන් යුතු සේනාවන්ට හැකි විය. වසර දහස් ගණනක් තුළ ස්වාධීනව පැවති ඌව මාතාවගේ ගෞරවාන්විත භාවයට නැවත වතාවක් පසක් කරමින් ඌව රාජ්‍යයේ ස්වෛරීත්වය යළි රැක ගැනීමට මෙම සටනින් හැකිවිය. මෙම ස‍ටනින් හැකි විය. මෙම සටන 1630 අගෝස්තු 20, 22 අතර දිනයක සිදු වු බව සඳහන් වේ. පෘතුගීසින් සමඟ පැමිණි සිංහල හමුදාවෙන් වැඩි කොටසක් යළි සිංහල හමුදාවට එක් වී ඇත.
               මෙම සටනත් සමඟ උඩරට රජකළ 11 වන රාජසිංහ රජු හා බදුල්ල කුමාරසිංහ රජු පෘතුගිසින්ට එරෙහිව සිදු කළ ප්‍රහාරය ත්‍රීවෘර කලේය. ඒ අනුව, කුමාරසිංහ රජු 10,000  ක සේනාවක් සහිතව බලන කපොල්ල බලා පිටත් විය. පෘතුගිසීන් සෙන්පති දියෝගුදමෙලෝ 28,700 ක සේනාවක් සහිතව එහි රැදි සිට ඇත. මෙම අවස්ථාවේ දී බිහිසුණු සටනක් දෙපාර්ශය අතර ඇති වී ඇත. ඉතා විශිෂ්ට ලෙස සිය සේනා මෙහෙය වු කුමාරසිංහ රජු ඉතා සාර්ථක සටනක නිරත විය. මෙහිදී ද ඉතිරිව ඇත්තේ පෘතුගිසි භටයින් 33 ක් පමණි. මොවුන් කුමාරසිංහ රජු විසින් අත්අඩංගුවට ගෙන බදුල්ලට රැගෙන ආ බව සදහන් වේ.
                     පසුව මොවුන් නිදහස් කළ බවත් මෙම සිද්ධිය නිසා 11 රාජසිංහ රජු කුමාරසිංහ රජු සමඟ උරණව සටනට පැමිණි බවත්, මේ නිසා පෘතුගිසින්  රැකවරණය පතා ගොස් ලිස්බන් නගරයේ දී මරණයට පත් වු බවට මතයක් වේ.  තවත් මතයක් වන්නේ 11 වන රාජසිංහ රජු තම සොහොයුරා වු කුමාරසිංහ රජුට විෂකවා මරණයට පත් කර රාජ්‍ය අත්පත් කර ගත් බවයි. මෙම සිද්ධියෙන් බියට පත් මාතලේ පාලකයාව සිටි විජයපාල රජු ද පෘතුගිසී රැකවරණය පතා ගොස් ලිස්බන් නගරයේදී මරණයට පත් වු බව සැලකේ. මේ නිසා බදුල්ල අග නගරය කර ගනිමින් පැමිණි ඌව රාජ්‍යයෙත් මාතලේ රාජ්‍යයෙත් මෙම සියළු ප්‍රදේශවල බලය යළි උඩරට රාජ්‍යයට එක් වු බව ඉතිහාසයේ සදහන් වේ.
                        කුමාරසිංහ රජුගේ මරණය පිළිබද තවත් මතයක් වන්නේ, රෝගයක් වැලදී මියගිය බවයි.  ක්‍රි.ව.1629 සිට 1634 හෝ 1636 දක්වා කාලය තුල කුමාරසිංහ රජු බදුල්ල රාජ්‍ය පෘතුගිසීන්ට එරෙහිව ඌවේ දී පමණක් නොව මුළු උඩරටටත් ඉන් නොනැවති පෘතුගීසී බලය කොළඹට සීමා කිරීමටත් සිදුකළ සියළු සටහන් වල දී සුවිශාල මෙහෙයක් ඉටු කර ඇත. ජයග්‍රහනයේ නිජභූමියක් කොට ගෙන ඌව පාලනය හෙබ වු අති ශූර රණකාමී කුමාරසිංහ රජු විශිෂ්ට රාජ්‍ය පාලකයකු ලෙස දේශයේ ස්වාධීනත්වය වෙනුවෙන් කටයුතු කළ බව මෙයින් ගම්‍යමාන වේ.  කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය රාජාවලියේ බදුලුපුර රාජධානියේ කුමාරසිංහ රජු ඌවට පමණක් නොව සමස්ථ සිරිලකටම අභිමානයක් එක් කළ ශ්‍රේෂ්ඨ පාලකයෙකු ලෙස පෙන්වා දිය හැකිය.

      කුමාරසිංහ රජුගේ රාජධානිය
                     සුන්දර නමුණුකුල ගිරිහිස අභිමුඛව මනරම් බදුළු නදියෙන් තුනෙන් දෙකක් පමණ වට වු භූමි භාගයක කුඩා කදුමුදුනක් මත පිහිටි රාජ මාලිගය අභියස රාජ මාලිගයට දකුණු දෙසින් මාලිගාවේ සිට හස්තයක් දුරින් බුදු සිරිපා පහස ලද මුතියංගණ පුද බිම පිහිටා තිබේ. නමුණුකුල සොයුරු කදුපන්තියෙන්වළල්ලාකාරව ඉතා ආරක්ෂීතව බදුළු ද්‍රෝණියේ මෙම මනෝරම්‍ය මාලිගය පිහිටා තිබී ඇත. ආරක්ෂිත භාවය ස්වභාවික පිහිටීම මෙම ස්ථානයේ රාජ මාලිගය ඉදි කිරීමට බල පෑ සුවිශේෂී කරුණක් වන්නට ද ඇත. ඉංග්‍රීසීන් ඌව කැරැල්ලට පැමිණෙන විට බදුල්ල රාජ මාලිගාව තිබු බව ඔවුන්ගේ වාර්තාවක සඳහන් කර ඇත. ආරක්ෂක බලකොටු කාර්යාල ආදීය එහි තිබු බව එම වාර්තාවට අනුව සඳහන් වේ.
                     මෙම මාලිගාවේ උඩ වාසල නමින් හදුන්වා ඇත්තේ රජු සිංහාසනාරූඩව සිටි රාජකීය මාලිගයයි. දැනට කච්චේරිය පිහිටුවා ඇත්තේ මෙම මාලිගාව පිහිටි ස්ථානයේය. පල්ලේ වාසල නමින් හදුන්වා ඇත්තේ පරිවාර බිසෝවරු ආදීන්ගේ වාසයට ඉදිකළ මාලිගාවය. එය දැනට සිපිරිගෙය හෙවත් සිර කඳවුර පිහිටි ස්ථානයේ පිහිටුවා තිබී ඇත. උඩ වාසල වටා දිය අගලක් පිහිටුවා තිබි ඇත. මෙයින් සනාථ වන්නේ මෙම මාලිගය  ආරක්ෂාවන් විචිත්‍රවත් ලෙසින් ඉදිකොට ඇති බවත්, පැරණි රාජමාලිගාවද ඉදිකිරීමේ දී භාවිතා කළ උද්‍යාන, දියඅඟල්,  පොකුණු  ආදියෙන්  ආඩ්‍යව   සෝභමානව මෙම රාජ මාලිගාවද ඉදිකර ඇති බවයි. පෞරාණික දිය අඟලේ  ශේෂ වු කොටසක් දැනට ද දක්නට ලැබේ. කෙසේ හෝ මෙම මාලිගය මනරම් මාලිගයක්ව තිබෙන්නට ඇතැයි උක්ත කරුණු සැලකීමේ දී විචිත්‍රනය වේ.
                 ජනප්‍රවාදයේ එන පුවතකට අනුව බදුළු ඹය දුන්හිඳ මෝය ප්‍රදේශයේ දී පුස්වැලකින් අවහිරව රොන්මඩ කොළ රොඩු තරන්පත් වී ජලයෙන් පිරි ජලාශයක් ව තිබු බවය. උසින් පිහිටි මුතියංගණ පුද බිම හා රාජ මාලිගය පිහිටි ස්ථානයත් පමණක් ගොඩබිම සේ දිසි වු බව සඳහන් වේ. ජනප්‍රවාදයේ එන්නේ මුතියංගණ පුද බිම වන්දනා කරන්නට බැතිමතුන් ඔරු පාරු මඟින් ගමන්ගත් බවයි. මේ පිළිබද නිශ්චිත කාල සීමාවක් සදහන් නොවන අතර, කුමාරසිංහ රජු සමයේ මෙම ස්ථානය මෙම ස්වරූපයෙන් තිබුණ ද යන්න පිළිබඳව ද පැහැදිලි සාක්ෂියක් දක්නට නොමැත. කෙසේ නමුත් පසු කාලයේ මෙම පුස්වැල කපා ඉවත් කොට ගඟ දිගේ ගසාගෙන ගොස් නතර වු ස්ථානය පුස්සැල්ලාව ලෙසින් හදුන්වන බවත්, සඳහන් වේ. මේ පිළිබඳ නිශ්චිත තොරතුරු මෙ‍තෙක් සොයා ගෙන නොමැති අතර, මෙය හුදෙක් ජනප්‍රවාදයේ සඳහන් තොරතුරක් පමණි.
                  කුමාරසිංහ රජු සිය රාජධානිය ඉදිකළ ස්ථාන‍ය ස්වභාවික පිහිටිම අතින් ආරක්ෂිත වීමත් ස්වභාවික සෞන්දර්යය අතින් අලංකාර වීමත් වැදගත් විමත් එවන් ස්ථානයක සිය රාජ මාලිගය ඉදි කොට රාජධානිය  පිහිටුවා ගැනීමෙනුත් ගම්‍යමාන වන්නේ කුමාරසිංහ රජු අතිශය රණකාමියෙකු  මෙන්ම  සෞන්දර්යවේදියකු බවය. බලන ගල සටනේ දී අත් අඩංගුවට පත් පෘතුගීසින් හේවායන් 33 දෙනා නිදහස් කිරීමෙන් ඔහු මානව හිතවාදි භූපාලයෙකු ලෙස කටයුතු කලේ යැයි සැලකීම යුක්ති සහගතය.
                කෙසේ හෝ වර්තමානයේ කුමාරසිංහ රජු ඉදිකළ මාලිගය ද එහි දක්නට නොමැත. පෞරාණික අම්බලමක් මෙම භූමියේ පිහිටා ඇති අතර , මෙය මහනුවර යුගයේ සම්ප්‍රදායිකත්වය හා ගෘහ නිර්මාණ ලක්ෂණ වලින් විනිර්මුක්තව නිර්මාණය කර ඇත. ඉතා අලංකාර ලී කණු 04 ක් මත විශාල ලී බාල්ක යොදා කැණිමඩල සහිත වහලය පෙති උළු සෙවිලි කර ඇති අතර, සිංහ රූප හා හංස රූප සහිත වඩිම්ඹූ උළු යොදා අලංකාර කර ඇත.  ලී හා බදාම මෙය ගොඩනැගීම සඳහා භාවිතා කර ඇත. 1818 උඩරට රාජ්‍ය යටත් කර ගැනීමෙන් පසු අධිරාජ්‍යවාදීන් කුමාරසිංහ රජුගේ රාජකීය මාලිගය ඔවුන්ගේ බදුල්ල ප්‍රදේශ පාලනය මූලස්ථානය බවට පත්කර ගෙන ඇත. මෙහිදී ඔවුන් රාජ මාලිගය විනාශ කර ඔවුන් විසින් ඔවුන් විසින් යළි මෙහි ගොඩනැගිල්ල ඉදිකරන්නට ඇතැයි සිතිය හැකිය. මේ බව සනාථ වන ඵලකයක් මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සම්බන්ධ තොරතුරැ සහිතව වත්මන් දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ සවි කර ඇත.
                         ඒ අනුව, වර්තමාන බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාල   ගොඩනැගිල්ල  1891 ආණ්ඩුකාරවර  සර් ඒ.ඊ.හැව්ලොක් විසින් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉදිකළ එකක් බව සනාථ වේ. එහෙත් මෙම ස්ථානය කුමාරසිංහ භුපතින්ගේ රජ මාලිගය පිහිටි ස්ථාන බව සක්සුදක්සේ පැහැදිලි ය. රජමාලිගය මුතියංගණ රජමහ විහාරය අතර පිහිටි 1 වන විමලධර්මසුරිය රජු විසින් 1592-1604 සමයේ ගොඩනගන ලදැයි ඉතිහාසයේ සඳහන් වන බදුල්ල කතරගම දේවාලය පෘතුගිසීන් විසින් 1630 විනාශ කර ඇති අතර, 11වන රාජසිංහ රජු විසින් මෙය නැවත ඉදිකර ඇත. දේවාලාභිමුඛව පිහිටි සිංහාසනය මණෟඩපය නම් නිරිමාණය නුවර යුගයේ ගෘහ නිර්මාණ ලක්ෂණයන්ගෙන් අතිශයින් පොහොසත් ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් සිහි ගන්වන  සුළු විචිත්‍රවත් නිර්මාණයකි. මෙය රජුට පෙරහැර නැරඹීම සඳහා ඉදිකළ නිර්මාණයක් බව සඳහන් ‍වේ. විමලධර්මසුරිය රජු දවස ද පවත්වන්නට නැතැයි සිතිය නොහැකි අතර, මෙම ස්ථානයේ දී කුමාරසිංහ රජු ද පෙරහැර නරඹන්නට ඇතැයි සිතිය හැකිය.
    -ඉහළට-

      කන්ද උඩරට අධිරාජ්‍යවාදීන්ට යටත් වීමෙන් පස් බදුල්ල රාජධානිය.
                   1604 දී කන්ද උඩරට රාජප්‍රාප්තියට පත් සෙනරත් රජුගේ පාලන සමයේ යළි ඉන්දියාවේන් බිසොවරුන් ගෙන්වා ගැනීමේ ක්‍රමය අනුගමනය කරන්නට විය.  මේ නිසා වෙන් ක්‍රමයෙන් උඩරට රාජ සභාවේ බලය නායක්කාර වංශිකයන් අතට පත් වීම සිංහල රදල ප්‍රධානින්ගේ දැඩි නොසතුටට හේතු විය. ඒ අනුව, මෙතෙක් කල් උඩරට රාජ්‍යයේ සුරක්ෂිත භාවයට මනා රුකුලක් වු රාජ්‍ය පාක්ෂීක භාවය ක්‍රමයෙන් ගිලිහෙන්නට විය.  ක්‍රි.ව.1798 දී රාජ්‍යත්වයට පත් ශ්‍රී ලංකා රාජාවලියේ අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් නෙරපා නායක්කාර වංශික ආධිපත්‍යයෙන් මිදීමට මඟක් සෙවු උඩරට සිංහල රදල ප්‍රධානිහු අතර පිළිමතලාවේ අධිකාරම් 1810 දී  ශ්‍රී වික්‍රම රාජසිංහ  රජු විසින් හිස ගසා දමනු ලැබීය. ඉන්පසු අධිකාරම් ධුරය හිමිවුයේ ඇහැලේපොළ අධිකාරම්ටය. ඇහැලේපොළ අධිකාරම්ටද ශ්‍රි වික්‍රම රාජසිංහ රජු එතරම් ඉවසුම් දුන්නේ නැත. ඔහු ඉංග්‍රීසින් සමඟ එක්වි රජු නෙරප වීමට කටයුතු කළේය. මෙසේ ජනතා බලය මෙහෙය වීමට තරම් හැකියාවක් තිබු සියළු සිංහල රදල ප්‍රධානීන් සිත් දිනාගැනීමට කටයුතු කළේය. අනතුරුව 1815 රදල ප්‍රධානීන්ගේ සහාය ද ඇතිව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු බ්‍රිතාන්‍යයන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
             ඉන් අනතුරුව 1815 මාර්තු මස 02 දින බ්‍රිතාන්‍යයන් හා සිංහල රදල ප්‍රධානින් විසින් අත්සත් කරක ලද ගිවිසුමකය අනුව උඩරට රාජ්‍යයට අයත්ව තිබු සියළු ප්‍රදේශ ඉංග්‍රීසින්ගේ පාලන තන්ත්‍රයට පත්විය. ඒ අනුව මුළු දිවයිනටම වසර 2500 කට ආසන්න කාලයක් ස්වාදීනව පැවති අභිමානවත් රාජ්‍ය පාලනය අවසන්ව ගියේය. දුර දිග නොබලා තමන් විසින් සිදු කළ මෙම ක්‍රියාවන් හි බරපතල කම වැටහෙන්නට සිංහල රදල ප්‍රධානීන්ට වැඩි කාලයක් ගත වුයේ නැත. තම ක්‍රියා කලාපයන් නිසා රටට මහත් අනර්තයක් සිදු වීමේ අවදානම ඔවුන්ට වැටහී ගියේය. සියවස් ගණනාවක් තුළ ගොඩනැගුන මහා සංස්කෘතිය ශිෂ්ටාචාරයට මෙය මහත් තර්ජනයක් ගෙන දෙන්නක් විය. එසේම ඉංග්‍රිසීන්ගේ පාලන ව්‍යුහය තුළ රදල ප්‍රධානීන්ට තිබු වරප්‍රසාද මෙන්ම පිළිගැනීම ද ක්‍රමයෙන් පිරිහෙන්නට විය. ඔවුන් ලාංකීය සංස්කෘතිය හා සබැඳි  උරුමය මායිම් නොකර සිය පාලන කටයුතු මෙහෙය වීමට පෙළබිණි. මින් මහත් පීඩාවට පත් වෙමින් ලක්වැසියන් ඔරොත්තු නොදෙන පීඩාකාරීත්වයක් කරා ජන ජීවිතය දිනෙන් දින තල්ලු වන්නට විය.
                    උඩරට රදල ප්‍රධානීන් හා අත්සන් කළ ගිවිමට අනුගත නොවීමත් පොරොන්දු ප්‍රකාරව කරුණු ඉටු නොවීමත් නිසා සිංහල ජනයාට මහත් අසීරුතාවයකට පත්වීමට සිදු වීමෙන්, උඩරට රාජ්‍ය ඉංග්‍රීසිනට යටත්වීමත්, ඌව වාසී ජනතාවට මහත් විස්සොපයක් විය. උඩරට රාජ්‍යයට සෑමවිටම හිතේෂීත්වයෙන් කටයුතු කළ ඌව වෙල්ලස්ස ජනයා සෑම විටම රටට අනර්ථයක් සිදු වු අවස්ථා වල රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් අභීතව සටන් වැදි රණකාමීත්වයෙන් පිරීජාති හිතේෂීන් ලෙස ප්‍රකටය. මේ තත්වය මත අධිරාජ්‍ය වාදීන්ට එරෙහිව ඌව වෙල්ලස්ස ජනතාව එකිනෙකා පෙළ ගැසෙන්නට විය. කිවුලේගෙදර මොහොට්ටේ රාළ, බුටවේ රටේ රාළ, කොහු කුඹුරේ රටේ රාළ, අදාවල මොහොට්ටි රාළ ආදී ප්‍රාදේශීය ජන ප්‍රධානීන් ඌව ජනයාට නායකත්වය දෙමින්,  ස්වාධීනත්වය පතා මහා අරගලයක යෙදෙන්නට විය. මේ පිළිබඳව සැල වී ඒ වන විට බදුල්ල ප්‍රදේශය භාරව සිටි විල්සන් නැමැත්තා 1817 ඔක්තොබර් 10 වන දින ඉංග්‍රීසී භට කණ්ඩායමක් සමඟ වෙල්ලස්සට ගියේය. වෙල්ලස්ස ඊතණවත්ත දේවාලයට නුදුරු බිබිලේ උණගොල්ලේදී සිංහල යුධ සෙබළෙකු වු හිටිහාමි විසින් විදින ලද හී පහරකින් හේ එතැනම මරණයට පත් විය. මෙම සිදු වීම අධිරාජ්‍ය වාදීන්ට මෙතෙක් ලංකාවේ දී එල්ල වු මරු පහරක් බවට පත්විය. ඒ නිසාවෙන් ඌව වෙල්ලස්ස ප්‍රදේශවල දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමන කරමින් දැඩි පීඩාකාරී තත්වයකට ජනතාව පත්කළේය.   
                  මේ අතර, ඌව වෙල්ලස්ස ප්‍රදේශය ක්‍රමයෙන් උණුසුම් වෙමින් අධිරාජ්‍ය විරෝධි මතය බුර බුරා ගොඩනැගෙන්නට විය. සිංහල නියකයින් තැන තැන සේනා සංවිධානය කරමින් බ්‍රිතාන්‍යයන්ට එරෙහිව යුධ වැදුනේ ඉහළ ඌව, පහළ ඌව ජනයාගේ රණකාමීත්වය නැවත වතාවක් පසක් කරමිනි. මේ අතර, මෙම තත්වය පාලනය කිරීම සඳහා කැප්පෙටිපොළ දිසාවේ 700 ක ඉංග්‍රීසී හමුදා සේනාවක් සහිතව ඌව දනව්වට පැමිණියේය. ඌවේ රණ ගොසින් ජාත්‍යාලයෙන් ඔද වැඩුණු රණකාමි සේනාවන් දුටු කැප්පෙටිපොළ දිසාවේ බ්‍රිතාන්‍ය හමුදාව යළි පිටත් කර, කිව්ලේගෙදර මොහොට්ටිරාළ ආදී ඌවේ වීරෝධාර නායකයින් සමඟ  ජාතික විමුක්ති අරගලය සඳහා එක්විය. මේ සිද්ධියෙන් අතිශය තැතිගත් ඉංග්‍රීසීන් ඌව වෙල්ලස්සට යුධ නීතිය පනවා සිංහලයන් දුටුතැන වෙඩි තබා ගෙවල් ගිනිබත් කර මහා සංහාරයක් සිදු කළේය. කැප්පෙටිපොළ ආදි කැරැල්ලට නායකත්වය දුන් සියළු නායකයින් ජාතී ද්‍රෝහීන් ලෙස ප්‍රකාශයට පත් කර ඔවුන් හිර බාරයට ගන්නා ලෙස ද නියෝග කළේය.
                    ඌවෙන් ඇරඹි 1818 කැරැල්ල මාතලේ මහනුවර ප්‍රදේශ කරාද ව්‍යාප්ත විය. කෙසේ  වෙතත් කැප්පෙටිපොළ - මඩුගල්ලේ හා විල්බාවේ අතර මත ගැටුම් ඇති වීමත්, මෙම අරගලයේ දී ඉංග්‍රීසීන් දැඩි මර්ධනකාරී පිළිවෙතක් අනුගමනය කිරීමත් හේතුවෙන්  ඌව වෙල්ලස්ස අප්‍රමාණ වීරවරයන්ගේ අප්‍රතිහාර ධෛරයයෙන් ගොඩනැගුණු  ස්වදේශීය විමුක්තිය උදෙසා වු අරගලය මහ සංග්‍රා‍මය ජාති හිතෛශී සිංහල නායකයින් සුවිශාල පිරිසක් ජාතියට අහිමි කර ගනිමින් ඌව වෙල්ලස්ස ජාතික වීරවරයන් දස දහස් ගණනක් මිහිදන් කරමින් නිමාවට පත්විය.
                      මින් පසු ඌව ප්‍රදේශයට ඉංග්‍රිසී කිසිදු සහනයක් ලබා නොදීමටත් මර්ධනකාරී පිළිවෙත ත්‍රීවෘර කර ක්‍රියාත්මක කිරීමටත් පෙළඹිණි. වැව්, අමුණු, බිඳ දමා කෙත්වතු විනාශ කරමින් පළතුරු ගස් පවා විනාශ කළ බව සඳහන් වේ. එමෙන්ම ගම් පිටින් ගිනිලු ඉංග්‍රීසීන් ගම්පාලු ක්‍රම වැනි ඉතා අමානුෂික කෲර ප්‍රතිපත්ති අනුගමනය කරමින් ඌව වෙල්ලස්ස විනාශ කළේය. මුඩු බිමි පනත යටතේ වතු වගාව සඳහා කෘෂිකාර්මික භූමි ඔවුන් විසින් රජයට පවරා ගනිමින්මෙම ප්‍රදේශ වල භූමි පුත්‍රයින්ගේ භූමි වල අයිතිය පවා උදුරා ගත්තේය. මෙසේ බදුල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඔවුන් මෙම ප්‍රදේශය 1948 නිදහස ලැබෙන තෙක් පාලන කටයුතු මෙහෙය වීය.
    -ඉහළට-
    නිදහසින් පසු බදුල්ල
                       1948 පෙබරවාර් 04 වන දින ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීම ශ්‍රී ලංකා ඉතිහාසයේ සුවිශේෂි සංදිස්ථානයක් වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයක් මෙන්ම වසර දෙදහස් පන්සීයකට අධික ශ්‍රේෂ්ඨ ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක් වශයෙන් පැවත වසර 133 ක් අධිරාජ්‍යවාදීන්ට යටත්ව නිදහස ලැබීමය. අධිරාජ්‍ය වාදීන්ගේ තාඩන පීඩන නිසා ඔවුන්ට බියෙන් ඉතා දුෂ්කර වනගත ප්‍රදේශ වලට බදුල්ල ප්‍රදේශ වල ජනයා සංක්‍රමණය වීම නිසා මෙම ප්‍රදේශවල ජනතාව අතිශය දුක්ඛිත ජිවිත ගත කර ඇත. එදා ඔවුන්ඌවට සිදු කළ හානියේ අදුරු සෙවනැලි තවමත් බදුල්ල ප්‍රදේශයෙන් පහව ගොස් නැතැයි සිතිය හැක. ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ අතරින් දර්ද්‍රතාවයෙන් ප්‍රමුඛත්වයක් ගන්නා රිදීමාලියද්ද වැනි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙයට නිදසුනකි. සෙසු දිස්ත්‍රික් හා සංසන්ධනය කිරීමේ දී සංවර්ධනයේ අවම මට්ටමක් අදත් බදුල්ල, මොණරාගලට හිමිව තිබිම අධිරාජ්‍යවාදීන් එල්ල කළ පීඩනය තවමත් පහව ගොස් නැතැයි සනාථ වන තවත් සුවිශේෂි කරුණකි.
                    වර්තමානයේ බදුල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි වසම් 564 ක් හා ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශ 15 පරිපාලනයේ පහසුව සඳහා ස්ථාපනය කර ඇත. එමෙන්ම ප්‍රදේශයේ නගරසභා 03 ක්ද දිස්ත්‍රික් මැතිවරණ බල ප්‍රදේශ 09 ක් පිහිටුවා ඇත. වර්තමානයේ දිස්ත්‍රික්කයේ 2006 වර්ෂයේ ජනගහනය 837000 ක් පමණ වේ. මේ අතර සිංහල 606037  ඉන්දියානු ද්‍රවිඩ 154027 ශ්‍රීලංකා ද්‍රවිඩ 31702   ජීවත් වේ.      
         
          ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය-බදුල්ල දිස්ත්‍රික් කාර්යාලය

Categories:

Leave a Reply

ඔබගේ අදහස් අපිට වටී.ලියන්න පහළින්